එරාගේ අදහස් උදහස් සමඟින් සියළුම අභියෝග මැඩලීමට හා නව ලෝකයක් දැකීමට එක්වන්න........

Thursday, May 23, 2019

ආයෙමත් කාලෙකින්

කාලය කියන්නෙ ගෙවෙන දෙයක්. ගොඩක් ඉක්මනට. කාලය නවත්වන්න බෑ.  මම මේ කාලය ගැන කියවන්න ගත්තෙ එකපාරටම, ගතවෙච්ච දේවල්, වෙච්ච දේවල් ගැන පොඩි සටහනක් තියන්න මට හිතුණා. ගොඩක් දේවල් වුණා. මට මං ගැනම ලොකු පසුතැවීමක් මේ කාලය දිහා හැරිලා බලනකොට සිදුවෙනවා. මට මගේ පවුල ගැන බලන්න උණේ නෑ. ඒ කිව්වෙ මට අම්ම තාත්තගෙ හීන ගැන බලන්න උනේ නෑ. සමාජ සේවය. මම කලේ අනුන් වෙනුවෙන්. අම්ම තාත්තා මං වෙනුවෙන් එයාලගේ ආශාවන් හීන ඔක්කොම විසිකරලා මං වෙනුවෙන් දුක් ගැහැට විඳිනවා. එයාලා වෙනුවෙන් මට කාලයක් තිබුණේ නෑ. අඩුම තරමින් මට මං වෙනුවෙන්වත්, මගේ ආදරය වෙනුවෙන්වත් වෙලාවක් තිබූණේ නෑ. මම ඒ තරමට පිට සමාජය වෙනුවෙන් කාලය වෙන් කරලා තිබුණා. මට ඇත්ත තේරුණා කියලා ආපහු හැරෙන්න බෑ තවමත්. ඒකයි ඇත්ත. 

මම සමාජය වෙනුවෙන්, දහම් පාසල වෙනුවෙන් වෙන් කරපු වෙලාව, අද මට මගේ අය වෙනුවෙන් වෙන් කලා නම් එහෙම හිතෙනවා. නමුත් එකපාරටම කරන්න බෑ ඒක. කාලයක් යනවා. මම දන්නවා. මම හැදිලා එනකොට මට ගොඩක් අහිමිවීම් තියේවි. බෝපෙ සියඹලාව කියන ගමෙන් මට නිරුක්ති දෙනකොට, මේ සමාජ සේවය කෙසේ වෙතත් පද ගලපනකොට, මම මොකද කරන්නෙ? ඇත්තටම මම අතරමං.  මගේ ආදරය මේ වෙනකොට මමවත් දන්නෙ නෑ. ඒක තියෙනවා කියන්න දන්නවා. නිශ්චිත තැනක්, කාලරාමුවක් නෑ. 

මම මගේ විශ්ව විද්‍යාල ගමන බාගෙට යන්නෙ කියන්න මම දන්නවා. අද හෙටම ඒකෙනුත් දොට්ට දාන්න පුළුවන්. ඒත් මම එකතුකර ගත්ත අත්දැකීම්, ඒවායේ වටිනාකම් මම දන්නවා. දැනුම සහ අත්දැකීම් විතරයි මට ඉතුරු වෙන්නෙ. මට ගොඩක් අය නෑ මගේ කියන්න. ඉන්නෙ දෙඅතේ ඇඟිලි ගාණට වඩා ටිකක්. ඒ අයත් ගිලිහිලා හැලිලා යන්න අරගෙන. මගේ කියලා තිබ්බ වත්කම් පවා මට නැතිවෙලා. සමාජ සේවය අරුත????

අවසානයේ පදයක් හදාගන්න පුළුවන් උණා. සතුටුයි. ඒ වගේම ගරුත්වය අඩුවුණා. තත්ත්වය අඩුවුණා. පදයට දුක් වෙන්නෙ නෑ. ඇත්ත මම දන්නවා. වුණ දේත් මම දන්නවා. අනාගතයත් මට පේනවා. මේ ඔක්කොම මෙහෙම වෙනකොට මම බලාගෙන ඉන්නවා. ජීවිතය කියන්නෙ ගමනක්. ආපස්සට යන්න බැරි ගමනක්. අපි ඒක හදාගන්න බලන්න ඕනෙ. කොහොම හරි. අලුත් අය, පරණ අය ඔක්කොම එක්ක ගමන යන්නම වෙනවා. අවසානයේ අඩි හයක් යටට. 

මම කරාවි සමාජයට හති වැටෙනකන්, මම ඉඳීවි කාලය ගෙවනකන්, මම ඇවිදීවි කකුල් තියෙනකන්, මම බලාවි ඇස් පියවෙනකන්, මම ජීවිතය ගෙනයාවි නාඩි වැටෙනකන්.

යථාර්තය මාගේ?????

එරන්ද පෙරේරා.
2019/05/23

Saturday, August 4, 2018

ආදරය ,කඳුල, සතුට , දුක

නෙතගින් කඳුලක් වැටෙන්නේ හේතු දෙකකට සාමාන්‍ය විදිහට. එකක් සතුටට. අනික දුකට. ආදරයේදී කඳුලක් වැටෙනවද? ඔව් වැටෙනවා. ආදරයට කඳුලෙන් ගේන්නේ වටිනාකමක්. තව කෙනෙක් වෙනුවෙන් තිබ්බ කැපවීම, උත්සාහය, උනන්දුව ඉන් හැඟෙනවා. ආදරයෙන් සතුට සහ දුක යන දෙකම ලැබෙනවා. පොත පතෙන් හෝ ටීවී රූප රාමුවලින් ලබන අත්විදින, දකින ආදරය සැබෑ ආදරයට වඩා සෑහෙන්න වෙනස්. ඒ වගේම කිසිමදාක තමන්ගේ හිතේ ඉන්න මවාගෙන ඉන්න සිදුහත් , යශෝදරා වගේ අයවම හමුවෙවිද කියලා කියන්නත් බෑ. හමුවීමේ හැකියාව අවමයි. මේ ලෝකයේ එවැනි අයට තැනක් නැහැ. දැන් ලෝකයේ. නමුත් අපිට අවශ්‍ය එවැනි ආදරවන්තයෙක්, ආදරවන්තියක්. ආදරයේ උත්තරීතර බවට අරුතක් එක් කරන්න පුළුවන් අයෙක්.

දුක දරුවා නම් ඈ යශෝදරා ..... අහල ඇති මේ වදන........

හැම කෙල්ලෙක්ම උත්සාහ ගන්නවානම් යශෝදරාවක් වෙන්න අද මේ ලෝකයේ කිසිම කොල්ලෙක් අඬන්නේ නැතිවෙයි, සියදිවි හානි කරගන්නේ නැතිවෙයි, දුක් වෙන්නේ නැතිවෙයි, ඒ වගේම දියුණු වෙයි, කාලකන්නි නොවේවි, අවසානයේ සසර ගමනටත් හයියක් වේවි. අපායට යාමට පාර නොකපාවී. ඒ කවුද යශෝදරා.

හැම කොල්ලෙක්ම උත්සාහ ගන්නවානම් හොඳ පෙම්වතෙක් වෙන්න , කිසිමදාක කෙල්ලෙක් අනාත නොවේවි, වටේ නොයාවි. තාත්තලා නැති දරුවන් අවම වේවි, ආදරයට අරුතක් එකතු වේවි.

බලාපොරොත්තු කියන දේවල් ඇත්තටම තබාගන්න එක මා දකින විදිහට අනවශ්‍යයි. අටලෝ දහමින් කම්පා වන ලෝකයක කිසිසේත්ම එය නොකළ යුතුයි. අද සිටින සමාජය කෘර සමාජයක්. ඒ සමාජයේ සිටින අයගෙන් කිසිම දාක පිරිසිදු උත්තරීතර ආදරයක්, මිත්‍රත්වයක් ලැබීම උගහටය. දුර්ලභය.

මොන වැරද්දක් කලත් උනත් සමාව දෙනවනම් අගය කල යුතුමයි.  පලියට පලිය ගැනීමෙන් කිසිම දාක සංතෘප්ත විය  නොහැකිය.

විමසුම ඔබට බාරයි.....!!!



කේ.ඒ.එරන්ද පෙරේරා
2018.08.04


 

Monday, June 12, 2017

මගේ ආදරේ.....

මගේ ආදරේ තරම් මගේ ආදරේ තරම්
මගේ ආදරේ තරම් මගේ ආදරේ තරම් දන්නවනම්
ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම් මම දුන්නු පෙම් හැඟුම් නැ යලි අරන්
මම ආදරෙයි රත්තරන් 

අහම් බෙන් ඇවිත් ලං වෙලා
වෙනස් කලා මගේ ජිවීතේ
දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින්
මියෑදෙව් මා ඔබ නැති වුනොත් සොවින්

හීන් ඇස් වලින් බල බලා
මතක් කලා මට ආදරේ
දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින්
මියෑදෙව් මා ඔබ නැති වුනොත් සොවින්

ආදරේ... තරම

girl---   අපි මේ සම්බන්දෙ නවත්වමු

Boy----  ඒ... ඇයි එක පාරටම

Girl----   මන් අසනීපෙන් hospital ඉදපු එකදවසක් වත් ඔයා ආවද මාව බලන්න මන් ඇස් රිදෙනකම් බලා ඉදිය, අඩු තරමෙ ඔපරේෂන් එක දවසෙවත්.
Pls මගෙන් ඈත්වෙන්න
මෙහෙම ආදරයක් මට වැඩක් නෑ.

පසුව ලියමි...
-------------------------------------------------------

රෝහලේ නුඹ බලන් ඉන්නැති
නෙත් ඔබේ  මගෙ රුව සොයන්නැති
ඒත් කෙලෙසක ලගට එන්නද
මමත් සිටියේ ලෙඩ ඇදේ

නෙත්වසා මරුවා සමග ඔබ
දවස් ගනනක් සටනෙ උන්නා
බලා ඉන්නට නොහැකි තැන මම
ඔබට මගෙ වකුගඩුවක් දුන්නා

අඩපණව ගියමුත් මගේ ගත
හැම විටම නෙතු ඔබව සෙව්වා
රහසක්ය මෙය ඔබට නොකියන
ලෙසට මම සැම දෙනට කිව්වා

යා යුතුයි නම් මගේ සෙවනින්
තහනමක් නෑ පිටව යනු මැන
හුස්ම ගන්නා වරක් පාසා
මගේ පෙම යලි සිහිකරුනු මැන


සමීර මදුසංක.....

පිටකොටුවේ කෙරුවාව... විමර්ෂණගත වාර්ථාව

1505 දී ලොරෙන්සෝ ද අල්මේදාගේ නායකත්වයෙන් යුතු පෘතුගීසි නාවුක කණ්‌ඩායම ලංකාවට ගොඩබැස ඇත්තේ දැන් අප පිටකොටුව නමින් හඳුන්වන අනර්ඝ මල්වත්තකින් සහ වැව් කඩිත්තකට ඔබ්බෙන් (පිටුපසින්) පිහිටා තිබූ මනරම් කුඩා ස්‌වාභාවික වරායට බව ඉතිහාසය සාක්‍ෂි දරයි. එම සුන්දර තොටුපළ කොළොං තොට ලෙස එකල හැඳින්වූයේ කැලණිගඟ මුහුදට වැටුණු කැලණි තොට නිසා බව ජනප්‍රවාදයේ කියෑවෙන අතර සමහරු කියන්නේ එහි තිබූ විශාල කොළොං හෙවත් කොළ අඹ ගස නිසා මෙයට කොළඹ තොට (Harbor with leafy mango trees) කියූ බවයි.
අද ඉතා ජනාකීර්ණ ගොඩනැඟිලි බහුල ගෙන්දගං රස්‌නය දෙන කොන්ක්‍රීට්‌ වනාන්තරයක්‌ වුවද එදා පිටකොටුව සහ කොළොංතොට ආශ්‍රිත පරිසරය ඉතා සිත් ගන්නා සුලු මනරම් මල් වත්තකින් තණකොළ පිට්‌ටනියකින් සහ වැවකින් සමන්විත විය.
එවකට කෝට්‌ටේ රජවූ 8 වැනි පරාක්‍රමබාහු රවටා ගසා ගත් වංචනික ගිවිසුම මත පෘතුගීසීන් තම බලකොටුව සහ ආධිපත්‍යය මේ වරාය සහ ඒ අවට පුරාත් මුහුදුබඩ තීරයේත් පතුරාගත් අතර කොළොංතොට කොළඹ හෙවත් කළම්බු ලෙස නම් කළහ. කොටුවෙන් පිට ප්‍රදේශය පිටකාටුව ලෙස සිංහලුන් අමතන්නට වූ අතර ඉන්දියාවේ කේරළයෙන් මෙහි පැමිණි වෙළෙන්දන් ඔවුනගේ රටේ තිරුවනාපුරම් නගරයට ආසන්න කෝලම් වෙරළට ආසන්නයේ ඇති පෙටා නැමැති කුඩා වරාය සහ නගරය සිහිවන්නට මෙම පිටකොටුවට පෙටා කියා නම් තැබීය. පෘතුගීසීන් මෙන්ම පසුව 1656 දී ඔවුන් පන්නාදමා කොළඹ අල්ලාගත් ලන්දේසීන්ද මෙම පෙදෙස වෙළෙඳ කලාපයක්‌ බවට පත් කරගත් අතර ඔවුහු අප රට තුළ වවන්නට ආරම්භ කළ කුරුඳු, පොල්, රබර් වැනි දේ නැව් ගත කිරීමට කොළඹ වරාය භාවිත කළහ.
1796 දී ඉංග්‍රීසීන් විසින් කොළඹ අල්ලාගත් අතර ඔවුන් 1815 දී උඩරට රජුන් සමග ගැසූ ගිවිසුමෙන් අනතුරුව කොළඹ නගරය ඔවුනගේ අගනුවර ලෙස නම් කරන ලදී. ඒ වන විට සම්පූර්ණයෙන්ම වෙළෙඳ කලාපයක්‌ බවට පෙරළී තිබූ කොළඹ තව තවත් දියුණු වී දමිළ, යෝනක, මැලේ, කොච්චි, ඉන්දියන්, චීන, අරාබි, බෝරා, ලන්සි වැනි විවිධ ජාතීන්ට අයත් මිනිසුන් ගැවසෙන බහු ජන කලාපයක්‌ බවට පත්විය.
තම නිෂ්පාදන සහ කෘෂි ද්‍රව්‍ය විදේශීය වෙළෙඳුන්ට විකුණණ පිණිසත් නැව්ගත කොට පිටරට පටවනු පිණිසත් සීතාවකින්, සබරගමුවෙන්, ඈත රුහුණෙන් ගැල් සහ තවලම් පිටින් ගැමියෝ සහ කුලී කරත්තකාරයෝ කොළඹට ඇදී එන්නට වූහ. එසේ එන මිනිසුන් තම ගැල් නිදහස්‌ කොට ගවයන් දිගේලි කර ගිමන් හැරියේ දවටගහ නමැති ප්‍රදේශයේ බව ඉතිහාසය පවසයි. එහි පැවැති විශාල වැව නිසා ඔවුන්ට පහසුවෙන් කොළොම් තොටට ළංවීමට හැකි නොවූ අතර හරකුන් දවටගහ පාමුල දිගේලි කොට ඔරු පාරු මගින් ඔවුන් වරාය ආසන්නයට පැමිණ මල්වත්තේ දිගාවී විවේක සුවයෙන් හිඳිමින් සුද්දන්ගේ සුද්දියන්ගේ රැඟුම් මෙන්ම ඉන්දියන් සහ මලයාලම් කාරයන්ගේ නූර්ති නාගඩම් නාටක රසවිඳිමින් සිටි බව පැරණි වාර්තාවල සඳහන්වේ. එකල එංගලන්තයෙන් නැටුම් කණ්‌ඩායම් සහ ඉන්දියාවෙන් සර්කස්‌ කණ්‌ඩායම් මෙහි පැමිණ කොළඹ තොටුපළ ඉදිරිපිට මල්වත්තේ සහ තණ පිට්‌ටනියේ තම සෙල්ලං පෙන්වා ඇත. අදටත් මල්වත්ත පාර යනු ඒ උද්‍යානයට ගිය මාවතයි. ඇස්‌වාට්‌ටුව අසළ ඇති දවටගහ පල්ලිය අයත් භූමියේ එදා ඒ විශාල දවටගහ පිහිටා තිබුණි. කුණු කසළ එක්‌ව අද අපිරිසිදුවට ජරාවාසයට පත්වී ඇති බේරේ වැව එදා ගැමියන්ගේ පිපාසය නිවූ සුනිල දියදහරක්‌ හා ගිමන නිවන ජල තටාකයක්‌ තිබී ඇත.
එදා සුද්දන්, සුද්දියන් සෙල්ලං පෙන්වූ, මහා පරිමාණයේ කෘෂි නිෂ්පාදන වෙන්දේසි වුණ ගම්පෙරළියේ යුගාන්තයේ, සඳහන් වන පියල්ලා, සයිමන්, කබලානලා තම ව්‍යාපාරවලට අත්පොත් තැබූ අලංකාර තණ පිට්‌ටනිය මත කෙලෝනියල් ක්‍රමයට ගොඩනැඟිලි ඉදිවී පිටකොටුව තනිකරම සුන්දරත්වයෙන් ඈත්වී ගොසිනි. අපි දැන් එදා කොළඹ ගැන නොව අද කොළඹ සහ පිටකොටුව දෙස බලමු.
කොළඹ යනු තාමත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයයි. පරිපාලන බෙදීමට අනුව කොළඹ ප්‍රධාන කොටස්‌ 15 කට වෙන්කර ඇත කොළඹ 01 කොටුව වන අතර ඉතිරිවා පිළිවෙළින් කොම්පඤ්ඤ වීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, කිරුලපන හා නාරාහේන්පිට, කුරුඳුවත්ත, බොරැල්ල, දෙමටගොඩ, මරදාන, පිටකොටුව, අලුත්කඩේ, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්‌ සහ මට්‌ටක්‌කුළියයි. ඉන් 11 වන කොළඹ යනු පිටකොටුවයි.
බහුතරයක්‌ වැදගත් මර්මස්‌ථාන වලින් පිරි කොළඹ 01 වන කොටුවට නැගෙනහිර දෙසින්ද, එක්‌ පැත්තකින් වරායෙන්ද, අනික්‌ පසින් කොටුව දුම්රියපළ ඉදිරියෙන් දිවයන ඕල්කොට්‌ මාවතින්ද, උතුරින් ගෑස්‌පහ හන්දිය සහ වුල්µeන්ඩ්ල් මාවතෙන්ද වටවී ඇති පිටකොටුව අද අප රටේ ඇති ජනප්‍රියම සහ කාර්යබහුලම නගරය යෑයි කිව හැකිය.
කොළඹ ජාත්‍යන්තර වරාය, ගමනාගමන මණ්‌ඩලයට අයත් ප්‍රධාන බස්‌ නැවතුම් පළ, විශාල ඉපැරණි බෝගස සහ බෝධිරාජ විහාරය, රතු පල්ලිය තුන්වන හරස්‌ වීදියේ මුස්‌ලිම් දේවස්‌ථානය, වුල්න්ඩ්ල් පාරේ ඉපැරණි ඕලන්ද පල්ලිය, පැරණි නගර ශාලාව, පිලිප් නේරි නම් කතෝලික පල්ලිය, පිටකොටුව පොලිසිය, මැනිං මාර්කැට්‌ටුව හෙවත් එළවළු වෙළෙඳපොළ, ස්‌වර්ණාභරණ සඳහා ප්‍රසිද්ධ හෙට්‌ටිවීදිය වැනි සුප්‍රසිද්ධ ස්‌ථානවලට අමතරව අද අප රටේ රෙදිපිළි ව්‍යාපාරයේ මෙන්ම හාල් පිටි සීනි අල ලූනු කුලුබඩු බෙහෙත් බඩු වැනි අත්‍යවශ්‍ය භාණ්‌ඩ වල තොග වෙළෙඳාම තනිකරම රැඳී ඇත්තේ පිටකොටුවේ ව්‍යාපාර කරන වෙළෙඳුන් අත බව සියල්ලෝම දනිති.
සඳුදා සිට සෙනසුරාදා දක්‌වා අලුයම සිට ගොම්මන දක්‌වා ඉතා කාර්ය බහුල ජනාකිර්ණ වාතාවරණයක්‌ පිටකොටුව වීදී සහ පාරවල් තුළ තිබුණද රාත්‍රී කාලයේ සහ ඉරිදා දිනවල මෙහි ඇත්තේ අමුතු නිහඬ නිශ්චල බවක්‌ සහ ගුප්ත පරිසරයකි. සතියේ දිනවල එහෙ මෙහෙ යන සෙනඟ, කරත්ත තල්ලු කරගෙන සහ කරේ තබාගෙන බඩු මලු එහෙ මෙහෙ අදින නාට්‌ටාමිවරු, කෑ මොර දෙමින් ටොයිස්‌ බඩු සපත්තු, රෙදිපිළි ආදිය විකුණන පදික වෙළෙන්දන්, යාචකයන් වෙනුවට රාත්‍රි කාලයේ අපට පිටකොටුවේ වීථි අතරේ දකින්නට ලැබෙන්නේ නිදි මතේ එහෙට මෙහෙට වැනෙන රාත්‍රී මුරයට සේවයට වාර්තා කරන සිකියුරිටි ලොක්‌කන්, ඔහේ පාරවල් දිගේ ඇවිදින පාදඩයන්, භූතයන් මෙන් එහෙට මෙහෙට වැනෙමින් ගමන් කරන බේබද්දන් සහ පැයෙන් පැයට හෝ පැය කීපයකින් කීපයකට පැට්‍රොaල් පොත් අස්‌සන් කරන්නට ඇවිදින පොලිස්‌ නිලධාරීන්ය.
මේ අයට අමතරව තවත් කොටසක්‌ රාත්‍රියට පිටකොටුවට එලි බසිති. ඒ කොටුව දුම්රියපළ ඉදිරිපිට ඇති පළවෙනි හරස්‌ වීදියේ මුල සහ අනෙකුත් හරස්‌ වීදි මැද තම රජ දහන කරගත් රාත්‍රී වීදි ලිංගික ශ්‍රමිකාවන්ය. (ගණිකාවන්) ඔවුන්ගෙන් බහුතරයක්‌ හෙරොයින් කුඩුවලට තදින්ම ඇබ්බැහි වූ කෘෂවූ සිරුරු ඇති ඉතා අසංවර ලෙස ඇඳ පැළඳගත් ගරුසරුව කතා කිරීමට නොදන්නා ගැහැනුය. නිතර බුලත් විටකින් කට පුරවා සිටින මෙවැන්නියන් අත දුම්වැටියද සුලබය. ඔවුනගේ සේවය සොයා එන සල්ලාලයන්ගෙන් බහුතරයක්‌ දෙපැත්තට වැනෙන බීමත් මිනිසුන්ය. ඕල්කොට්‌ මාවතට මුහුණලා සහ අඳුරු හරස්‌ පාරවල ඉතා අඩු මුදලට ලොඡ් සහ අපිරිසිදු කාමර තිබුණද ඔවුන්ට තම කාරිය කර ගැනීම සඳහා අවශ්‍ය වන්නේ ජනශූන්‍ය පාර අයිනේ අඳුරු මුල්ලක අටවා ගත් තාවකාලික කාඩ්බෝඩ් ආවරණයක්‌ හෝ කඩයක අගු පිලකි. මෙම ගැහැනුන් ගණිකාවන් මෙන්ම මහා හොර දෙටුවන්ය. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ ලිංගික සේවා සැපයීම නොව තමා සොයා එන අසහනකාරී අහිංසක සල්ලාලයා බය කර ඔහුගේ පසුම්බියට පහර දීම හෝ ඔහුගේ ඉහේ සිට දෙපතුළ දක්‌වා සුද්ධ කර ගැනීමය. එම කාන්තාවන්ට සහයට පිරිමිද ඒ අවට සැඟවී සිටිති. බොහෝ විට එවැන්නකු බේබද්දෙකු නැතහොත් හෙරොයින් මත්ලෝලී පිම්පියෙකු වන අතර ඔහුගේ රාජකාරිය වන්නේ දෙදෙනා තම කාර්යයට සෙට්‌ වීම අයිනක සැඟවී සිට බලා හිඳ වැඩේ උච්ච අවස්‌ථාවට ළංවෙද්දී “අඩෝ උඹ මගේ ගෑණිට මොනාද කරන්නේ” කියා කෑ ගහගෙන මැද්දට පැන පිහි කොටයක්‌ පෙන්නා මෑන්ව සුද්ද කිරීමයි. එසේත් නැත්නම් “ඔන්න පොලිසියෙන් එනවා. දුවපාං” කියා කෑගසමින් පාරට පැනීමයි. මෙම ක්‍රියාව අතරතුරේදී ගැහැනිය තම සේවාලාභියාගේ මුදල් පසුම්බියට හෝ කර බැඳි රන් මාලයට ගානට වග කියා අවසානය. පිහි කොටය දැක මරණ බියට හෝ පොලිසියට අසුවුවහොත් ඇතිවන ලැඡ්ජාව නිසා zකස්‌ටමර්දZ පස්‌ස නොබලා දුවගොස්‌ නවතින්නේ එක්‌කෝ මධ්‍යම බස්‌ නැවතුම් පොලේයි. නැතිනම් ඉස්‌ටේසමේය. සමහරු තේ බොන්නට මෙන් රෑ කඩේකට රිංගා තම කලිසමේ බොත්තං පියවා ගනිති.
රාත්‍රියට එසේ වුවද දවාලට මෙසේය. අප නිතර නිතර පිටකොටු එන රැසකගෙන්ම පිටකොටුව පිළිබඳ අත්දැකීම් සහ අදහස්‌ විමසා සිටියෙමු. මේ ඔවුන් කීප දෙනෙකුගේ අදහස්‌ය.
“මම සතියකට දෙතුන් වතාවක්‌ පිටකොටු එනවා. අපේ කඩවත රෙදි සාප්පුවට ඇඳුම් අරන් යන්න. මං ගෑනු කෙනෙක්‌ නිසා මුලින්ම මට පොඩි බයක්‌ ආවා තනියම එන්න. ඒත් දැන් පුරුදුයි. මෙහෙ ඉන්න මුදලාලිලා ගොඩක්‌ හොඳයි. ඒත් පාරේ යද්දි නම් හරියට කේන්ති යනවා. මිනිස්‌සු ඇඟටමයි එන්නේ. හරියට පාරේ යන්නේ අඬු විහිදගත්ත කකුළුවො වගේ. එහෙම නැත්නං පිල් විදහගත්තු මොනරු වගේ. ඒ මොකද දන්නවද ගෑනු අපේ අඟ පසඟ වල ඒ අයගෙ අත් වද්දගෙන වින්දනයක්‌ ගන්න. බොරුනං මහත්තයො තව ගෑනු අයගෙන් අහල බලන්න මං කියන්නෙ බොරුද කියල.”
මම තවත් කාන්තාවන් කීප දෙනෙකුගෙන්ම මේ ගැන විමසා සිටි අතර සමහරු ලැඡ්ජාවෙන් සිනාසී බිම බලා ගත් අතර අනික්‌ අය බහුතරයක්‌ ඒ ඇත්ත බවට ස්‌ථිර කළෝය.
“මං දැන් අවුරුදු තිහක්‌ මේ බජාර් එකේ වැඩ. මං නාට්‌ටාමියෙක්‌ කර ගහල තමයි සල්ලි හොයන්නෙ. සමහරදාට හත් අට දාහ හොයනව මං ඉස්‌සර කුඩු බිව්ව. දැන් නවත්තලා අවුරුදු අටක්‌ වෙනව. ඒත් අපේ අනික්‌ නාට්‌ටාමිලාගෙන් වැඩි දෙනෙක්‌ මොනා හරි මත් වෙන එකක්‌ පාවිචිචි කරනවා. වැඩි දෙනෙක්‌ කුඩ්ඩො. පව් වැඩේ මහන්සියෙන් හම්බ කරන දාස්‌ ගාණක්‌ කුඩු පැකට්‌ එකකට නාස්‌ති කරනවා. කොච්චර සංවිධාන මත් කුඩුවලට විරුද්ධව කෑගැහුවත් අපේ උන් ගාවට කවුරුවත් එන්නෙ නැහැ.”
ඒ තුන්වැනි හරස්‌ වීදියේ ඉම්රාන්ගේ අදහසයි.
කාන්ති අක්‌කා නගර සභාවේ රථ පාලිකාවක්‌ හෙවත් පාකිං නෝනා කෙනෙකි. මේ ඇගේ දැක්‌මයි.
“දැන් නං පිටකොටුව කියන්නෙ මහ අසූචි වළක්‌. වැස්‌සදාට කානු බ්ලොක්‌ වෙලා මුළු පලාතම යට වෙනව. ඒකට හේතුව කඩවලින් එළියට දාන පොලිතින් පෝර බෑග් වගේ දේවල් බෝක්‌කු කාණු අස්‌සෙ හිරවෙලා වතුර බහින්න බැරි වෙනව. මොන ආණ්‌ඩුව ආවත් මේකට තාම හරි විසඳුමක්‌ දුන්නෙ නැහැ. අනික පාකිං කෙරුවාව, පිටකොටුව වටේ කොච්චර කාර් පාකිං තැන් තිබ්බත් මුදලාලිල ලේසියට තමන්ගේ වාහනේ තමන්ගේ කඩේ ඉස්‌සරහ තමයි පාක්‌ කරන්නේ. පිටකොටුවෙ තියෙන පාරවල් හරිම පටුයිනෙ. වාහනයක්‌ නැවැත්තුවම මුළු පාරම වැහෙනව. ඒක නිසා බ්ලොක්‌ එක වැඩියි. අපි කිව්වට අහන්නෙ නැහැ ඇත්තම කීවොත් පොලිසිය පණ මදි. තද නීති දැම්මනං වාහන බ්ලොක්‌ එකයි. කාණු බ්ලොක්‌ එකයි. දෙකම ලේසියෙන්ම නවත්ත ගන්න පුලුවනි.”
මහ පාරට කාරා කෙළගැසීම ප්‍රසිද්ධියේ සෙම් සොටු සූරා ඒවා හැම තැනම දැමීම, බුලත් කා කෙළගැසීම, සිගරට්‌ කොට එතැනම දැමීම අද පිටකොටුවේ බොහෝ සුලබව දකින්නට ඇති අසික්‌කිත දසුන්ය. මොහිදීන් ඒ ගැන මට විස්‌තරයක්‌ කළේ මෙසේය.
“බොස්‌, අපේම අය තමයි වැඩියෙන්ම ඒවා කරන්නෙ. වාඩිවෙලා ඉන්න තැනම කෙළ ගහනවා. සමහරු කොල කෑල්ලකින් ගොට්‌ටක්‌ ගහල ඒකට කෙළ ගහල පස්‌සෙ ගොට්‌ට ගුලි කරල පාරට දානවා. ඉතින් පාරේ යන අයට ඕක පෑගිල හැම තැනම ගෑවෙනව. ඒ වගේම සමහරු දන්නෙ නැහැ හරියට වැසිකිළියක්‌ පාවිච්චි කරන්න. ගියාම එන්නෙ මුලු ලැට්‌ එකම වනසල මං හිතන්නෙ අපේ රටේ විතරයි වැසිකිළිවල බෝඩ් ඇඳල මතක්‌ කරන්නේ පාවිච්චි කළ පසු වතුර ගසන්න කියල. සමහරු ලැට්‌ වළ විතරක්‌ නෙමෙයි පඩි පෙළවල් අයිනෙයි තරප්පු යටයි කෙළ ගහල මල මුත්‍ර කරල තමන්ට නෙමෙයි වගේ මාරු වෙනවා. මේව බොරු නෙමෙයි. නිතර පිටකොටු එන ඕනි කෙනකුගෙන් අහන්න බොස්‌…”
රාත්‍රි කාලයට පිටකොටුව මදුරුවන්ගේ සහ මීයන්ගේ රාජධානියක්‌ය. කෙයිසර් වීදියේදී මට හමුවූ පරමේශ් නම් දමිළ තරුණයා කියන පරිදි බජාර් එකේ මීයෙක්‌ පොඩි පූසෙක්‌ විතර විශාලය. මදුරුවෙක්‌ කැරපොත්තෙක්‌ විතර ලොකුය. “බොසා මෙහෙම සත්තු බෝ වෙන්නෙ අපේම අයගෙ වැරදි නිසා. ඉඳුල් එක්‌ක බත් පැකට්‌ හැම තැනම දාන නිසා. මීයොන්ට පොංගල්. වැහි වතුර කාණු හිස්‌ භාජන නිසා මදුරුවො හැමතැනම. ඉතින් ආණ්‌ඩුව කෑගහනව ඩෙංගු, ඩෙංගු කියල.”
අපිරිසිදුකම, රථවාහන තදබදය, ගණිකා වෘත්තිය සහ සමලිංගික සේවනය, මත් ජාවාරම සහ භාවිතය, වෙළෙඳුන්ගේ කූට ප්‍රයෝග, තැරැව්කරුවන්ගේ සහ ජල්බරි කාරයන්ගේ මගඩි සහ ජල්තර, මී මදුරු උවදුර, භීෂණය, මැරකම සහ හොරකම, කප්පං ගැනීම සහ බලහත්කාරය, ජාතිවාදය සහ ආගම්වාදය වැනි මෙකී නොකී කරුණු කාරණා නිසා එදා මනරම් මල්වත්තක්‌ සහ සුන්දර තණකොළ පිට්‌ටනියක්‌ව තිබූ පිටකොටුව ඇත්තටම අද මිහිපිට අපායකි.
මෙයට හේතුව එහි නිතර යන එන සහ රැඳී ව්‍යාපාර කරන ව්‍යාපාරිකයන්ගේ නොමනා හැසිරීම් රටාව සහ නොසැලකිල්ලත් පිටින් එන නරුමයන්ගේ ක්‍රියා පටිපාටියත් බව රහසක්‌ නොවේ. පිටකොටුව ආරක්‍ෂා කිරීම සහ හොඳින් නඩත්තු කිරීමේ වගකීම ඉස්‌සර නම් තිබුණේ මා දන්නා හැටියට කොළඹ මහ නගර සභාවටයි. නව සංකල්ප වන මෙගා පොලිස්‌ ව්‍යාපෘතියට අනුව මහ නගර සභාව පිටකොටුවෙන් අත පිසදා ගත්තාදැයි සමහරු සැක කරති. කෙසේ වෙතත් විවිධ ජන කොටස්‌ නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත් නාගරික මන්ත්‍රීවරුන් බුරුත්තක්‌ම තේරී පත්වුණ කොළඹ මහ නගර සභාව සහ දක්‍ෂ අවංක ක්‍රියාශීලී නිලධාරීන් පත්ව එන පිටකොටුව පොලිසිය තම වගකීම මනා ලෙස ඉටු කර යළිත් මල්වත්තක්‌ නොව අඩුම ගානේ සහනයෙන් සමාදානයෙන් බඩු මුට්‌ටුවක්‌ මිලදී ගැනීමට හැකි වාතාවරණයක්‌ සහිත ප්‍රදේශයක්‌ පවට පත් කරනු ඇතැයි අප ඇතුළු බහුතරයකගේ ප්‍රාර්ථනාවයි.

මහාචාර්යය නන්දසේන රත්නපාලයන්.......

ග‍්‍රන්ථ ග‍්‍රහණය කළ ද දුර්ජනයන් කණ්ඨ මානික්‍යය සහිත විසකුරු නයින් වැනි යැයි සිදත් සඟාවේ අරුත්බර වැකියක් එයි. නාගයා ගේ ගෙලෙහි ඇති මැණික උගේ විස දළ නිසා කිසිවකුට ගත නොහැකි ය. ඒ සමීපයට ලංවීමටත් නොහැකි ය.
මහා ප‍්‍රඥාවන්තයන් ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටින ඇතැම් උගතුන්ගේ දැනුම ද, විෂය ඥානය ද, විසකුරු දළින් යුතු විෂඝෝර නාගයා ගේ කණ්ඨ මාණික්‍යය මෙනි. මෙවන් උගතුන් ගෙන් කවර ඵලයක් ද? මේ නරුම උගතුන් ගෙන් පිරුණ රටකට කවර අනාගතයක් ද?
මා මේ ප‍්‍රශ්නය නඟන්නේ සිය දැනුම මුළු මහත් මිනිස් වර්ගයා ගේ ම හිත සුව පිණිස නිරාමිෂ ව පූජා කළ උතුම් ප‍්‍රඥාවන්ත මිනිසකු ජාතියට අහිමි වී, තුන්මසක් ගෙවුණු තැන ය. සියලු සත්පුරුෂයන් සන්තාපයට පත් වූ සමයක ය.
දැනුම දැනුම සඳහා නො ව ජනතාව සඳහා විය යුතු ය යන අදිටනෙහි පිහිටා මුළු මහත් විශ්වයට ම ආදරය කළ මේ ප‍්‍රඥාවන්ත මිනිසා “දහසක් මැද හුදකලා වී” ලෝකයට ම කථා කෙළේ ය.
යහපත් යහපත ලෙස දකින්නටත්, අයහපත අයහපත ලෙස දකින්නටත් හැකි විමැසුම් ඇස පුබුදු කෙළේ ය. එතුමා, මෙරට සරසවි ගුරු පරපුරේ මුදුන් මල් කඩක් බඳු වූ සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නන්දසේන රත්නපාල සූරීන් ගැන පසුගිය තෙමසක කාලය මුළුල්ලේ ම බොහෝ අය කථා කළ හ. බොහෝ දෑ ලියූ හ.
 ජීවත් ව සිටිය දී නන්දසේන රත්නපාල තේරුම් නොගත් බොහෝ අය තවමත් එතුමන් කළ කී දෑ සොයා බැලීමෙන් පෙනෙන්නේ එතුමා ගේ අර්ථ සම්පන්න ජීවිතය සැබැවින් ම මෙරට ජනතාව නැවත නැවතත් විමසා බලන අගනාකම්වලින් පිරිපුන් අගනා අත් පොතක් බව ය.
සමාජවිද්‍යාඥයකු, මානවවිද්‍යා පර්යේෂකයකු, අපරාධ විද්‍යාඥයකු හා ජනශ‍්‍රැති විද්‍යාධරයකු ලෙස මහාචාර්ය නන්දසේන රත්නපාලයන් ගේ අති මහත් සේවාව පිළිබඳ ව බොහෝ දෑ කියැවී ඇත. ලියැවී ඇත.
එහෙත් ඒ ක්ෂේත‍්‍රයන් ඔස්සේ මරණයේ අවසාන මිනිත්තුව දක්වා ම එක දිගට වැඩ කළ මේ උතුම් මිනිසා පිළිබඳ ව අපි නොදත්, එහෙත් දත යුතු දෑ අපමණ ය.
එතුමා ගේ ජීවිතයේ අවසාන කාලය එතුමාට අතිශයින් සමීප වූ මා ලද ඒ කරුණු අපේ ජනතාව දැන කියා ගැනීම එතුමා ගේ අභාවයෙන් තෙමසක් ගෙවෙන අද එතුමාට කරන ගෞරවයක් ලෙස සලකමි.
නන්දසේන රත්නපාල මහතා සිය අධ්‍යාපනික සුදුසුකම් උලුප්පා පෙන්වීමට වෑයම් නොකළ උගතෙකි. එහෙත් එතුමා ලද අධ්‍යාපනික සුදුසුකම් මෙරට කිසිදු මහාචාර්යවරයකු ලබා නොතිබූ ඉතා විරල ගණයේ සුදුසුකම් බව නොකියා ම බැරි ය.
ආචාර්ය උපාධි තුනක් පමණක් එතුමා දිනාගත් බව පැවැසෙතත් සැබෑ තත්ත්වය එය නොවන බව එතුමා අවසාන කාලයේ සැපැයූ මේ විස්තරයෙන් මට අවබෝධ විය. එතුමා ගේ අධ්‍යාපනික සුදුසුකම් මෙසේ දැක්විය හැකි ය.
B.A.(Hons.)MA, Diploma in Anthropology,
Dr. Phil (Germany) ph.D (U.S.) ph.D.(U.K.) ph.D. (Sri Lanka)
D. Litt (Sri Lanka, Degree earnde on research), D.Litt (Hon.)


මෙහි විශේෂත්වය නම් අවසාන වරට එතුමා ලබා ගත් පර්යේෂණ සඳහා වන සාහිත්‍ය ශූරී උපාධිය එතුමා ලබා ගත්තේ උතුම් අරමුණක් වෙනුවෙන් වීම ය.
සිය දර්ශන ශූරී උපාධිය ලබා ගත් පසු හැම අයකු ම තව දුරටත් පර්යේෂණ කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා දිරි ගැන්වීමක් ලෙස ඩී. ලිට් (සාහිත්‍ය ශූරී) උපාධිය ලබා දිය යුතු බවත් තම ජීවිතයෙන් පෙන්වා දීම එතුමා ගේ අභිප‍්‍රාය විය.
 එහෙත් එතුමා මෙන් පර්යේෂණ සඳහා ඩී ලිට් සම්මානයෙන් පිදුම් ලැබූවකු අද වෙන තෙක් බිහි වී නැත. සමාජ විද්‍යාව ඉගැන්වීමට එතුමාට සුදුසුකම් නැතැ යි ද එතුමා සිංහල විෂයය හදාළ අයෙකැ යි ද පවසමින් එවකට උසස් අධ්‍යාපන ඇමැති ව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතාට පෙත්සම් යැවූ ‘උගතුන්’ කීපදෙනකු ගැන පුවතත් ප‍්‍රසිද්ධ එකකි. එහෙත් රත්නපාල මහතා ගේ පී. එච්. ඩී. උපාධි අතර සිංහල විෂයයට ලබා ගත් උපාධියක් නැත.
විශ්වවිද්‍යාලය ගුරුවරයා ඉගැන්වීම, පර්යේෂණය කිරීම සහ පොත පත ලියා දැනුම බෙදා හැරීම කළ යුතු බවත්, පාසල් ගුරුවරයා පොතෙහි ඇති දෑ කියා දෙමින් දැනුම බෙදා දෙද්දී සරසවි ඇදුරා අලුත් පර්යේෂණ කරමින් නව දැනුම ලබා දෙන්නකු විය යුතු බවත් එතුමා නිරතුරු ව පැවැසූ දෙයකි.
රත්නපාල මහතා තරම් විදේශයන්හි සංචාරය කරමින් ශාස්තී‍්‍රය ජීවිතය පොහොසත් කර ගත් ඇදුරකු මෙරටෙහි ඇද්දැයි සැකයකි. රටවල් වශයෙන් ගතහොත් එය මුළු ගණන පනස ඉක්මවයි.
හිමෙන් වැසී ගිය උත්තර ධ‍්‍රැවයේ ඇස්කිමෝවරු සමඟ සීල් මත්ස්‍යයන් ආහාරයට ගනිමින් ද, නයාර් මුන්ඩුගර් තෝඩා ගෝති‍්‍රකයන්, අපි‍්‍රකාවේ සහරා කාන්තාරය අසල ජීවත්වන ගෝති‍්‍රකයන් ද සමීප මිතුරන් ලෙස ඇසුරු කරමින් ඔවුන් ගේ යාතු කර්මයන්ට සම්බන්ධ වෙමින් ඒ ගෝත‍්‍රවල සාමාජිකයකු වීමට එතුමාට හැකි විය. යේසුන් වහන්සේ ගේ ශුද්ධ භූමිය වූ ජෙරුසෙලමත්, ප‍්‍රංශයේ ලූර්දු ගුහාවත් එතුමා ගේ සියුම් නිරීක්‍ෂණයට අසු වූ තැන් ය.
මහාචාර්ය රත්නපාලයන් ගේ ශාස්තී‍්‍රය දිවියෙහි සුවිශේෂි තවත් කරුණක් නම් එය සමාජීය විද්‍යා ක්ෂේත‍්‍රයෙහි අති මහත් දැවැන්ත වපසරියක පැතිර පැවැතීම ය. එපමණක් නො ව ඒ විවිධ විෂය සන්දර්භයන් වෙත එතුමා ආකර්ශනය වූ යුගයක් ද අතිශයින් ම සංක‍්‍රාන්තික ය.
මෙරට ඒ ඒ විෂයන්හි ප‍්‍රාමාණිකයන් ලෙස සැලැකෙන උගතුන් සිටිය ද, ඔවුන් බොහෝ විට එක් විෂය ධාරාවකට සීමා වී කටයුතු කළෝ වූ හ. එහෙත් රත්නපාල සූරීහු කාලානුරූප ව විවිධ විෂය ක්ෂේත‍්‍ර ගණනාවකට ප‍්‍රාමාණිකයකු වීම විස්මයජනක ය.
1956 දී ‘සියබස් මතුර’ කාව්‍ය සංග‍්‍රහයේ සිට 2007 දී “මනුෂ්‍ය පෙ‍්‍ර්තයන් සමඟ කළ දුෂ්කර කි‍්‍රයාවක්” දක්වා එතුමා ලියූ සිංහල පොත් ගණන අසූවකට අධික ය. ඉංගී‍්‍රසි පොත් සංඛ්‍යාව තිස් පහ ඉක්මවයි.
ඉංගී‍්‍රසි, ප‍්‍රංශ, ජර්මන්, ස්පාඤ්ඤ භාෂාවලට පරිවර්තනය කර ඇති පොත් ද ඒ අතර ඇත. අද ජනපි‍්‍රය ව ඇති පොත් දොරට වැඩීමේ උත්සව පැවැත්වීම මෙරටට හඳුන්වා දුන්නේ රත්නපාල මහතා ගේ “නොදනිමි කාගේ දොසා” නම් නවකතාව 1972 දී හඳුන්වාදීමේ උත්සවයෙනි.
රත්නපාල ශූරීන් ගේ විශ්වවිද්‍යාලයීය ශාස්තී‍්‍රය දිවිය මුළුමනින් ම විචිත‍්‍ර පෙරළිකාර එකකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ මුල් වරට බෞද්ධ විහාරයක් ඇති කිරීමට බුදු පිළිමයක් රැගෙන විත් හොර රහසේ තැන්පත් කළ නන්දසේන රත්නපාල, ඒ නිසා ම නිකුලස් ආටිගල උපකුලපතිවරයා ගෙන් සති දෙකක පන්ති තහනමකට ලක් වූයේ ය.
ඉංගී‍්‍රසි භාෂාවෙන් පමණක් කතා කරන ශිෂ්‍ය සභාවේ පළමුවරට සිංහලෙන් කතා කිරීමේ වරදට රත්නපාල කලාගාරයෙන් පිටතට දැමූ බව ප‍්‍රකට ය. පේරාදෙණි සරසවියේ බෞද්ධ විහාරයක් ඇති කිරීමෙන් නොනැවතුන රත්නපාල සෑම පොහෝ දිනක ම සුදුවතින් සැරැසී සිසුන් පිරිවරාගෙන සීල ව්‍යාපාර සංවිධානය කරමින් එහි බෞද්ධ ප‍්‍රබෝධයට අඩිතාලම දැමුවේ අන්‍යාගමික සනාතන සභා බලධරයන් ගේ බලවත් විරෝධතා මැද ය.
මෙබඳු පෙරළිකාර කටයුතු ඔහු ගේ සාහිත්යික නිර්මාණවල ද ආරම්භයේ සිට ම දක්නට ලැබිණි. මුල් යුගයේ රචනා කළ “කවි රස විඳීම’ කෘතිය කවි විචාරය, වඩාත් රසවත් ලෙස ඉදිරිපත් කරනු පිණිස පෙම්වතුන් දෙදෙනකු ගේ පෙ‍්‍ර්ම සංලාපයකට මුසු කොට ලියූවකි.
පසු කාලයේ මාර්ටින් වික‍්‍රමසිංහයන් ගේ ‘නව පද්‍ය සිංහලය’ වැනි රසාලිප්ත විචාර ග‍්‍රන්ථයක් හැරුණු විට ඒ කෘතිය විවාදාත්මක කෘතියකි.
ඉන් අනතුරු ව මුල් යුගයේ දී එතුමා විසින් කරනු ලැබූ විප්ලවීය කාර්යයක් නම් විදුදයේ නූතන සිංහල පාඨමාලාව ආරම්භ කිරීම යි. මෙය විශ්වවිද්‍යාලයීය ඉතිහාසයෙහි කරනු ලැබූ විප්ලවීය අත්හදා බැලීමක් වුවත්, එයට එල්ල වූ ගල් මුල් පහරවල් අති විශාල විය.
බොහෝ අය සිතා සිටියේ රත්නපාල පේරාදෙණි ගුරුකුලවාදියකු වී විදුදය විනාශ කරන බව යි. එදා එතුමා මුහුණ දුන් කර්කෂ විවේචන අපට සිහිපත් කරන්නේ ඒවාට මුහුණ දීමට එතුමාට තිබූ ධී ශක්තිය යි.
එවකට ප‍්‍රකට විචාරකයකු වූ සිසිර කුමාර මානික්කආරච්චි වංශනාථ දේශබන්ධු නමින් තමා ගේ සාහිත්‍ය කොල්ලය කෘතියේ රත්නපාල මහතා විවේචනය කරන්නේ මෙසේ ය.
“හන්තානෙන් මාලිගාකන්දට බට තවත් වලි කාරයෙක් බා (බී,ඒ) වේ. ආනුභාවයෙන් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය කුඹුරක් හාගෙන යයි. හික්කඩුවේ ශී‍්‍ර සුමංගල නාහිමියන්ටවත් ඉන් මෙදාතුරේ කොයියම් ආචාර්ය, ප‍්‍රාචාර්යවරයාණ කෙනෙකුටවත් බැරිවුණු තරම් ගැඹුරට මාලිගාකන්දේ සාහිත්‍ය ක්ෂේත‍්‍රය සීසාන මේ පුද්ගලයා එහි කථිකාචාර්යවරයකු වන නන්දසේන රත්නපාල ය.” (සාහිත්‍ය කොල්ලය, පිටු: 94)
“හන්තාන කුලයේ ඇබිත්තයකු වූ නන්දසේන රත්නපාල මේ කොයි දේ කීවත් ඒ ගැන පුදුම විය යුතු නැත. පුදුම විය යුත්තේ සිංහල සාහිත්‍යයේත් බුදු සමයේත් මුර දේවතාවුන් වශයෙන් ගැනෙන විද්‍යෝදය විශ්වවිද්‍යාලය වැනි තැනක ඔහු ගේ මේ වෛකුල්‍ය මත පතුරුවන්නට උප කුලපතීන් වහන්සේලා ඉඩ හැර තිබීම ගැන ය.” (පිටුව 96)
මෙබඳු වාග් ප‍්‍රහාරවලට අමතර ව පෞද්ගලික පහරදීම්වලට ද සාහිත්‍යය නිසා ම එතුමා මුහුණ දුන් අයුරු කුංකම චන්දන කෘතියෙහි මෙසේ විස්තර කර ඇත.
“වරක් මම ප‍්‍රසිද්ධ දේශනයක් පවත්වා එළියට බසින විට මගේ මෝටර් රථයේ ටයර් හතර ම කපා දමා තිබිණ. තවත් තැනක දී මගේ මෝටර් රථයේ පැටෙ‍්‍ර¤ල් ටැංකියට සීනි දැමූ හ. කීප අවස්ථාවක දී ම ප‍්‍රසිද්ධ වේදිකාවේ දී ම මට පහර දීමට සමහරු ඉදිරිපත් වූහ.
වරක් පිළියන්දල දී තව වරක් වරකාපොල දීත්, ගාල්ලට යන අතරමඟ දීත් මැරයෝ මට පහර දුන් හ. සාහිත්‍යයේ උනන්දුව ඒ තරම් ම උණුසුම් විය. මම ඒ නිසා වඩාත් උනන්දු වී මහන්සි වී පත පොත ලීවෙමි.” (කුංකම චන්දන, පිටුව 88)
මෙබඳු උග‍්‍ර විවේචන එතුමාට එල්ල වුව ද එවකට ඇතිවුණ සාහිත්‍ය ප‍්‍රබෝධයෙන් උදම් වුණු එතුමා ගේ විදුදයේ සිංහල හැදෑරූ සිසුවෝ ‘එළිය’ නමින් සම්භාවනා කෘතියක් මුද්‍රණය කොට නන්දසේන රත්නපාල කථිකාචාර්යවරයාට අභිනන්දන උලෙළක් පැවැත්වූවෝ ය. සහකාර කථිකාචාර්යවරයකු වෙනුවෙන් මෙරටෙහි මුල්වරට සකස් කළ අභිනන්දනය වන්නේ එය යි.
රත්නපාල මහතා ගේ දෙවන ශාස්තී‍්‍රය යුගය සිංහලට ආයුබෝවන් කියා මානවවිද්‍යාවට පිවිසීමත් සමඟ ඇරැඹෙන්නකි. එයද විවාදාපන්න ය. නූතන සිංහල පාඨමාලාව වසා දැමීමට බලධාරීන් තීරණය කිරීමත් සමඟ මානවවිද්‍යාව ඉගෙනීමට ජර්මනියට යෑමට රත්නපාල මහතා තීරණය කෙළේ ය.
එවකට ශාරීරික මානවවිද්‍යාව පමණක් ඉගැන්වූ මානවවිද්‍යා අංශයට සංස්කෘතික සමාජ මානවවිද්‍යාව ද එකතු කරන්නැ යි එතුමා ගෙන් ඉල්ලා සිටියේ මාර්ටින් වික‍්‍රමසිංහ මහතා ය. කෙසේ වුව ද මානවවිද්‍යාව හදාරා ලංකාවට එද්දී විදුදයේ මානවවිද්‍යා අංශය නැති කොට ඉතිහාසයට ඒ විෂය සම්බන්ධ කර තිබෙනු රත්නපාල මහතාට දැකගත හැකි විය.
 රත්නපාල මහතාට සිංහලත් මානවවිද්‍යාවත් යන අංශ දෙක ම අහිමි වූවා පමණක් නො ව, මාස ගණනාවක් වැටුප් නොගෙවීමට ද බලධාරීහු කටයුතු කළ හ. කෙසේ වුව ද පසු ව මහාචාර්ය රත්නපාල මහතා නැවතත් සමාජ මානවවිද්‍යා අංශය තම සරසවියෙහි පිහිටුවා ගැනීමට පුරෝගාමි වෙමින් දශකයට වැඩි කලක් එහි අංශාධිපති ලෙස මහත් වූ කැප වීමකින් සේවය කෙළේ ය.
සමාජවිද්‍යාව පොදු ජන සමාජයට රැගෙන ගිය යුගය ඒ යුගය යි. ඉංගී‍්‍රසි කතා කරන සීමිත පිරිසකට සීමා වී තිබූ සුපිරි පැලැන්තියේ විෂයයක් වූ සමාජ විද්‍යාව දේශීය ඥානයෙන් ඔපවත් කොට, අපට ආවේණික සංස්කෘතිකාංග එකතු කොට දේශීය සමාජවිද්‍යාවක් ගොඩනැඟීම එතුමා ගේ ඒකායන පරමාර්ථය විය.
සමාජවිද්‍යාව පිළිබඳ එතුමා ගේ දෘෂ්ටිය පස්වන වරටත් නොබෝදා නිකුත් වූ සමාජවිද්‍යා පර්යේෂණ මූලධර්ම නම් කෘතියෙහි දක්වා ඇත්තේ මෙසේ ය.
“අද සමාජවිද්‍යාව ලංකාවේ දියුණු වී ඇත. අපට ආවේණික වූ සංස්කෘතියෙන් හා බුදු දහමින් ලබාගත හැකි සංකල්ප හා ක‍්‍රමවේදයන් ගැන අපේ සමාජ විද්‍යාඥයන් කල්පනා කොට නොමැත. බටහිර ආභාසයෙන් හා සම්ප‍්‍රදායයෙන් අඟලක් වෙනස්වීම අපේ සමාජ හා මානවවිද්‍යාඥයන් බොහෝ දෙනකුට කළ නොහැකි විය.
එය අවමානයක් ලෙස ඔවුහු සලකති. ඔවුනට එය විද්‍යාත්මක නැත.” (සමාජ විද්‍යා පර්යේෂණ මූලධර්ම, පි.01)
“... බුදු දහම හරිහැටි නොදත් සිංහල සංස්කෘතිය නොදන්නා අපේ සමාජ මානව විද්‍යාඥයන් එය කරන්නේ කෙසේ ද? එංගලන්තයේ හා ඇමරිකාවේ සමාජවිද්‍යාව උගත් ඒ අය තම ගුරුවරුන් ඉගැන්වූ දේ වෙනස් කරන්නට ඉදිරිපත් වන්නේ නැත. එසේ කරනවා නම් ඒ වෑයම විද්‍යාත්මක නොවන බව ඒ අය කල්පනා කරති.” (පිටුව 08)
නන්දසේන රත්නපාල මහතා හඳුන්වා දුන් සමාජවිද්‍යා සම්ප‍්‍රදායය කෙබඳු එකක් ද යන්න මින් පෙනේ. එහෙත් දශක තුනක පමණ කාලයක් මෙරටේ ස්ථාපිත වී තිබූ සමාජ විද්‍යා සන්දර්භය තුළ එය අශාස්තී‍්‍රය එකක් බව පෙනී යෑම ස්වභාවික ය.
ශාස්තී‍්‍රය බව මනින ඒ බටහිර මිනුම්දඬුවලට අභියෝග කරමින් එතුමා මෙරට අලුත් සමාජ විද්‍යා සම්ප‍්‍රදායයක් ගොඩනැංවීමට පුරෝගාමී විය. සමාජවිද්‍යාව, මානවවිද්‍යාව, අපරාධවිද්‍යාව, අපරාධ යුක්තිය පිළිබඳ ප‍්‍රධාන විෂය ධාරාවන් තුනක් උගන්වන ප‍්‍රධානතම ජාතික විශ්වවිද්‍යාලයය ලෙස විදුදය සරසවිය පෙරට ආවේ නන්දසේන රත්නපාල මහාචාර්යතුමා ගේ අප‍්‍රමාණ කැපවීමට පින්සිදුවන්නට ය.
නන්දසේන රත්නපාල මහතා සිය ජීවිතයෙහි අවසාන කාලය ද නිකරුණේ ගත කිරීම කැමැති නො වූ උද්යෝගිමත් චරිතයක් විය. ඒ කාලයේ දී එතුමා ගේ උනන්දුව ප‍්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ යොමුව පැවැතිණ.
ඉන් පළමු වැන්න නම් වීදි දරුවන් පිළිබඳ සුබ සාධනය යි. දෙවැන්න ගුප්ත ආත්ම පිළිබඳ ගවේෂණය යි. වීදි දරුවන් පිළිබඳ ව එතුමා දැක්වූයේ අප‍්‍රමාණ අනුකම්පාවකි. එතුමා ගේ පුරෝගාමීත්වයෙන් මීගොඩ පිහිටවූ සන්හිඳ ළමා නිවාසය මෙරටේ වීදි දරුවන් පුනරුත්ථාපනය කරන අංග සම්පූර්ණ නිකේතනය ලෙස හැඳින්විය හැකිය.
ඔවුන් සමඟ සිය ජීවිතයේ අවසාන කාලය ගත කරනු කැමැති වූ මහාචාර්යවරයා එහි ම කුඩා කුටියක් තනාගෙන පොත් පත් ලියමින් දරුවන් ගේ දුක සැප බලමින් කාලය ගත කෙළේ ය.
නන්දසේන රත්නපාල මහතා ප‍්‍රවාහිකාවක් ආශ‍්‍රය කරගෙන ගුප්ත ආත්ම ගවේෂණය ආරම්භ කෙළේ ඉතා මෑතක දී ය. තමා සමඟ ජීවත් වූ මිය ගිය මහා වියතුන් අපා දුක් විඳිමින් භූතයන් ලෙස ඒ ප‍්‍රවාහිකාව මඟින් එතුමා සමඟ කථා කළ අවස්ථා රාශියක් විය.
පුද්ගලයකු පෙ‍්‍ර්තයකු වී අපාගත ලබන්නේ ඇයි ද යන්න තේරුම් ගැනීමට අප‍්‍රමාණ වෙහෙසක් දැරූ එතුමා, ජීවත් ව සිටින කාලයේ දී තමන් විසින් කරනු ලැබූ යම් යම් නොපනත් කම් නිසා ම තමන් පෙ‍්‍ර්තයන් වී දුක් විඳින බව ඔවුන් ගෙන් ම දැනගත් අතර, ඔවුන් කී කරුණු කොතරම් දුරට සත්‍ය දැයි ආනුභවික ව ම සොයා බලා ඔවුන් ගේ ඉදිරිපත් කිරීම් නිවැරැදි බව පිළිගත්තේ ය.
පෙ‍්‍ර්තයන් කියූ කරුණුවල ඇත්ත නැත්ත සෙවීමට බොහෝ දුර අපි ගමන් කෙළෙමු. පෙ‍්‍ර්තයන් ලෙස උපත ලැබූ තමා හඳුනන ආශ‍්‍රය කළ පුද්ගලයන් ගැන එතුමා දන්නා පෞද්ගලික තොරතුරු පසු ව ඔවුන් ගෙන් ලබා ගත් කරුණු සමඟ සසඳ්‍ර බලා නිගමනයට ඒමට එතුමාට අවශ්‍ය විය.
බොරු කීම, දුරාචාරය, මහජන මුදල් ගසා කෑම, දුරාචාරය මිනී මැරීම වැනි අපචාර මිනිසා කොතරම් විශාල ප‍්‍රපාතයකට ඇද දමන්නේ ද යන්න මුළු රටට ම පෙන්වා දීමට එතුමා දැරූ උත්සාහය අප‍්‍රමාණ ය.
මිය යෑමට සති තුනකට පමණ පෙර රාති‍්‍රයෙහි තමා ගේ කාමරයෙහි ජනේලය අසල සුදු පැහැති ආලෝක ධාරාවක් තමා සමඟ කථා කිරීමට උත්සහ කළ බවත්, තමා ඒ සඳහා ඔහුට ආරාධනා කළ ද ඒ ආත්මය තමා වෙතට ඒමට බිය වූ බවත් එතුමා මා සමඟ පවසා තිබිණි.
තම ජීවිත කාලය තුළ ගුප්ත බලවේග සමඟ මුහුණට මුහුණලා කතා කිරීමට තමාට හැකියාව ලැබෙන බව එතුමා නිතර ම විශ්වාස කෙළේ ය. එමෙන් ම පෙ‍්‍ර්තයන් ගේ ඡායාරූප කීපයක් ද එතුමා සතු ව තිබිණි. පෙ‍්‍ර්තයන් ගේ කටහඬ හා රුව ලබාගත හැකි විද්‍යුත් ආම්පන්න ලබා ගැනීමට ද ඒ ඔස්සේ ගුප්ත ආත්ම පිළිබඳ පොතක් ලිවීමට ද එතුමා ආශාවෙන් සිටියේ ය.
තමා කරන සියලු හොඳ නරක මරණින් මතු තමා සමඟ පැමිණෙන බවත්, ඒ කර්මයට පිටු පෑමට කිසිවකුට නොහැකි බවත් තරයේ විශ්වාස කළ එතුමා ඒ සත්‍යය ආනුභවික ව ම අත්හදා බලමින් මිනිසුන් සහ සතුන් මැරූ දරුණු අපරාධ කරුවන් ගේ අවසානය සියැසින් දැක “මෙලොව දී පලදෙන කර්මය” නමින් පොතක් ලීවේ ය.
සිවුපා සතුන් යහපත් කර්ම කිරීමට නොදන්නා නිසා ඔවුන් නිසැක ව ම සත්ත්ව සිවුපා ආත්මවලින් මිදෙන්නේ නැති බව විශ්වාස කළ එතුමා තම නිවසේ සුරතලයට ඇති කරන සුනඛයන් ආගමික වතාවත් කරන වේලාවල ළඟින් තබාගෙන සිටීමට උනන්දු විය.
තමා ලියූ “නොදනිමි කාගේ දොසා” නවකතාව ලියද්දී තමා ළඟ වැතිරී සිට තමාට තනි රැක්ක ‘උලෝ’ නම් සුනඛයාට ඒ කෘතිය පිළිගැන්වීම එතුමා කැමැති විය. සිය නිවසේ ඇති කළ බල්ලන් සහ බළලුන් මියගිය පසු ඔවුන් වෙනුවෙන් දානමාන දී පින්පෙත් දීම ද එතුමා ගේ සිරිතක් ව පැවැතිණි.
මහාචාර්ය රත්නපාල මේ දහසකුත් පර්යේෂණ මැද අතිශයින් දයාබර කරුණාවන්ත, මිනිසකු සතු මනුස්සකම රැක ගත් උදාර චරිතයක් යයි මේ ලිපිය අවසන් කළ හැකි ය. එහෙත් එය එතුමා ගේ සංවේදී ගුණය පිළිබඳ නිසි ඇගයුමක් නො වේ.
මිනිසුන් ගේ නොපනත්කම්, අමතක කිරීම්, එතුමා තුළ ඇති කළ කම්පනය අතිමහත් ය. මුදල් සහ රාගය හැම තැන ම සර්පයන් ලෙස මිනිසාට දෂ්ට කරන බව එතුමා නිරන්තරයෙන් ම පැවැසුවේ ය.
දිනපතා උදේ හත හමාරටත් රාති‍්‍ර අටටත් දුරකථනයෙන් මා අමතන එතුමා හැමදාමත් කියන්නේ එක ම දෙයක්. “අද ඔබ කරන යහපත හෙට මිනිසුන් අමතක කරනු ඇත. ඒත් නොසැලෙන්න හොඳ දෙයම කරන්න යනුයි ඒ” නන්දසේන රත්නපාල මහතා ගේ චරිතය සැබැවින් ම විරෝධාලංකාර චරිතයක් බව නැවතත් කිය යුතු ය.
දහසක් මිනිසුන් මැද එතුමා හුදෙකලා වී සිටි චරිතයකි. එහෙත් ඒ හුදෙකලාව කලකිරීම, පසුතැවිල්ලකින් ගෙවා නොදැමූ එතුමා, නිරන්තරයෙන්ම යම් කාර්යයක නියැලී සිටිමින් ලබා දුන් ආදර්ශය විශිෂ්ට ය.
 ‘රොබර් ලවර්’ නමින් විස්මයජනක ගුප්ත ජීවිතයක් ගත කරන මිනිසකු පිළිබඳ ව රසවත් ඉංගී‍්‍රසි නවකතාවක අවසාන කොටස ලියමින් සිටි එතුමා, සිය මුළු මහත් ජීවිත කාලය තුළ හමු වූ දයාබරිත මිනිසුන්, ලොව පුරා තමා සංචාරය කළ තැන් පිළිබඳ ව පිටු දහස ඉක්මවූ කවි පොතක් ‘කලවානෙ දි ලියු කවි’ නමින් ලියා මා වෙත එවා තිබිණි.
නන්දසේන රත්නපාල මහතා තරම් මිනිසුන්ට අත දුන් මිනිසුන් ගේ දියුණුව ප‍්‍රාර්ථනා කළ, තමාට වඩා ඉහළ තැනකට තම ශිෂ්‍යයා ගමන් කරනු දැකීමට කැමැත්තෙන් සිටි සරසවි ඇදුරකු ගැන සිතීමට අමාරු ය.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගේ ගැටලු, ඔවුන් ගේ පැත්තෙන් බලා ඒවාට විසඳුම් දීමට එතුමා නිතර ම උනන්දු විය. වරක් එතුමාට දේශනයකට ඇරියුම් කිරීමට පැමිණි සටන්කාමී දේශපාලන පක්ෂයක නායකයකු ගෙන් එතුමා කළ එක් ඉල්ලීමක් මට මතක ය.
 “විශ්ව විද්‍යාලවල නවකවදය පිටුපස ඉන්න ශිෂ්‍ය සංවිධානවලට කියන්න නවක වදයට කිසි ම අනුබලයක් දෙන්න එපා කියලා. ඒ සංවිධාන ඔක්කෝට ම කතා කරන්න පුළුවන් ඔබ තුමාට විතරයි. ඒ පොරොන්දුව මට දෙන්න.
මම ඕන උදව්වක් කර දෙන්නම්.” නවක වදය නිසා ආබාධිත වූ නිවෙස්වල සිටින දහ අට දෙනකු හඳුනා ගත් රත්නපාල මහතා ඔවුන් හමුවීමට ගොස් ආපසු ආවේ බලවත් කම්පාවෙනි. මේ දරුවන් වෙනුවෙන් යමක් කිරීමේ වැදගත්කම එතුමා උසස් අධ්‍යාපන බලධරයන්ට ද ලියා එව්වේ ය. එහෙත් ඉන් කිසිදු පලක් සිදුවූයේ නැත. තමාට බරපතළ අසාධාරණයක් කළ අයකුට වුව ද එතුමා දැක්වූයේ පුදුම සහගත කරුණාවකි.
තමා උගත් දෙය මුදලට විකිණීම තරයේ ම ප‍්‍රතික්ෂේප කළ එතුමා මෑත දී ලැබුණු අන්තර්ජාතික ළමා අරමුදලේ උපදේශක තනතුර ප‍්‍රතික්‍ෂේප කෙළේ තම සේවය තම රටේ වීදි දරුවන් වෙත ලබාදීම එයට වඩා වැදගත් බව පවසමිනි. මියයන අවසාන මොහොත තෙක් ම එතුමා පොදු ජනතාවට සේවය කරමින් සිටි චරිතයක් බව විවාද රහිත ය.
නන්දසේන රත්නපාල මහතා දැන් අප අතර නැත. එහෙත් එතුමා මෙරටේ ජාතික සංවර්ධනයට කළ අනල්ප මෙහෙය තව බොහෝ කල් නොනැසී සිහිපත් කළ හැකි මෙහෙයකි. මුළු මහත් ජනතාවට ම දැනෙන එබඳු උදාර මෙහෙයක් සිදු කෙට මිය ගිය වෙනත් විශ්වවිද්‍යාලය මහාචාර්යවරයකු ගැන සිහිපත් කළ නොහැකි ය.
එතුමා නිතර පැවසූ දෙයක් මට සිහිපත් වේ. “මගේ ජීවිතයේ මට ම කියා මා උපයාගත් ධනයක් නැත. මට ඇති එක ම ධනය මා ලියූ පොත්ටික හා අවුරුදු හතළිහක් මා ඉගැන්වූ තිස්දහසකට ආසන්න වූ සිසු සිසුවියන් පිරිස පමණි. සැනසිල්ලේ මැරෙන්නට මට එය ඇති.”