එරාගේ අදහස් උදහස් සමඟින් සියළුම අභියෝග මැඩලීමට හා නව ලෝකයක් දැකීමට එක්වන්න........

Monday, June 12, 2017

මහාචාර්යය නන්දසේන රත්නපාලයන්.......

ග‍්‍රන්ථ ග‍්‍රහණය කළ ද දුර්ජනයන් කණ්ඨ මානික්‍යය සහිත විසකුරු නයින් වැනි යැයි සිදත් සඟාවේ අරුත්බර වැකියක් එයි. නාගයා ගේ ගෙලෙහි ඇති මැණික උගේ විස දළ නිසා කිසිවකුට ගත නොහැකි ය. ඒ සමීපයට ලංවීමටත් නොහැකි ය.
මහා ප‍්‍රඥාවන්තයන් ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටින ඇතැම් උගතුන්ගේ දැනුම ද, විෂය ඥානය ද, විසකුරු දළින් යුතු විෂඝෝර නාගයා ගේ කණ්ඨ මාණික්‍යය මෙනි. මෙවන් උගතුන් ගෙන් කවර ඵලයක් ද? මේ නරුම උගතුන් ගෙන් පිරුණ රටකට කවර අනාගතයක් ද?
මා මේ ප‍්‍රශ්නය නඟන්නේ සිය දැනුම මුළු මහත් මිනිස් වර්ගයා ගේ ම හිත සුව පිණිස නිරාමිෂ ව පූජා කළ උතුම් ප‍්‍රඥාවන්ත මිනිසකු ජාතියට අහිමි වී, තුන්මසක් ගෙවුණු තැන ය. සියලු සත්පුරුෂයන් සන්තාපයට පත් වූ සමයක ය.
දැනුම දැනුම සඳහා නො ව ජනතාව සඳහා විය යුතු ය යන අදිටනෙහි පිහිටා මුළු මහත් විශ්වයට ම ආදරය කළ මේ ප‍්‍රඥාවන්ත මිනිසා “දහසක් මැද හුදකලා වී” ලෝකයට ම කථා කෙළේ ය.
යහපත් යහපත ලෙස දකින්නටත්, අයහපත අයහපත ලෙස දකින්නටත් හැකි විමැසුම් ඇස පුබුදු කෙළේ ය. එතුමා, මෙරට සරසවි ගුරු පරපුරේ මුදුන් මල් කඩක් බඳු වූ සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නන්දසේන රත්නපාල සූරීන් ගැන පසුගිය තෙමසක කාලය මුළුල්ලේ ම බොහෝ අය කථා කළ හ. බොහෝ දෑ ලියූ හ.
 ජීවත් ව සිටිය දී නන්දසේන රත්නපාල තේරුම් නොගත් බොහෝ අය තවමත් එතුමන් කළ කී දෑ සොයා බැලීමෙන් පෙනෙන්නේ එතුමා ගේ අර්ථ සම්පන්න ජීවිතය සැබැවින් ම මෙරට ජනතාව නැවත නැවතත් විමසා බලන අගනාකම්වලින් පිරිපුන් අගනා අත් පොතක් බව ය.
සමාජවිද්‍යාඥයකු, මානවවිද්‍යා පර්යේෂකයකු, අපරාධ විද්‍යාඥයකු හා ජනශ‍්‍රැති විද්‍යාධරයකු ලෙස මහාචාර්ය නන්දසේන රත්නපාලයන් ගේ අති මහත් සේවාව පිළිබඳ ව බොහෝ දෑ කියැවී ඇත. ලියැවී ඇත.
එහෙත් ඒ ක්ෂේත‍්‍රයන් ඔස්සේ මරණයේ අවසාන මිනිත්තුව දක්වා ම එක දිගට වැඩ කළ මේ උතුම් මිනිසා පිළිබඳ ව අපි නොදත්, එහෙත් දත යුතු දෑ අපමණ ය.
එතුමා ගේ ජීවිතයේ අවසාන කාලය එතුමාට අතිශයින් සමීප වූ මා ලද ඒ කරුණු අපේ ජනතාව දැන කියා ගැනීම එතුමා ගේ අභාවයෙන් තෙමසක් ගෙවෙන අද එතුමාට කරන ගෞරවයක් ලෙස සලකමි.
නන්දසේන රත්නපාල මහතා සිය අධ්‍යාපනික සුදුසුකම් උලුප්පා පෙන්වීමට වෑයම් නොකළ උගතෙකි. එහෙත් එතුමා ලද අධ්‍යාපනික සුදුසුකම් මෙරට කිසිදු මහාචාර්යවරයකු ලබා නොතිබූ ඉතා විරල ගණයේ සුදුසුකම් බව නොකියා ම බැරි ය.
ආචාර්ය උපාධි තුනක් පමණක් එතුමා දිනාගත් බව පැවැසෙතත් සැබෑ තත්ත්වය එය නොවන බව එතුමා අවසාන කාලයේ සැපැයූ මේ විස්තරයෙන් මට අවබෝධ විය. එතුමා ගේ අධ්‍යාපනික සුදුසුකම් මෙසේ දැක්විය හැකි ය.
B.A.(Hons.)MA, Diploma in Anthropology,
Dr. Phil (Germany) ph.D (U.S.) ph.D.(U.K.) ph.D. (Sri Lanka)
D. Litt (Sri Lanka, Degree earnde on research), D.Litt (Hon.)


මෙහි විශේෂත්වය නම් අවසාන වරට එතුමා ලබා ගත් පර්යේෂණ සඳහා වන සාහිත්‍ය ශූරී උපාධිය එතුමා ලබා ගත්තේ උතුම් අරමුණක් වෙනුවෙන් වීම ය.
සිය දර්ශන ශූරී උපාධිය ලබා ගත් පසු හැම අයකු ම තව දුරටත් පර්යේෂණ කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා දිරි ගැන්වීමක් ලෙස ඩී. ලිට් (සාහිත්‍ය ශූරී) උපාධිය ලබා දිය යුතු බවත් තම ජීවිතයෙන් පෙන්වා දීම එතුමා ගේ අභිප‍්‍රාය විය.
 එහෙත් එතුමා මෙන් පර්යේෂණ සඳහා ඩී ලිට් සම්මානයෙන් පිදුම් ලැබූවකු අද වෙන තෙක් බිහි වී නැත. සමාජ විද්‍යාව ඉගැන්වීමට එතුමාට සුදුසුකම් නැතැ යි ද එතුමා සිංහල විෂයය හදාළ අයෙකැ යි ද පවසමින් එවකට උසස් අධ්‍යාපන ඇමැති ව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතාට පෙත්සම් යැවූ ‘උගතුන්’ කීපදෙනකු ගැන පුවතත් ප‍්‍රසිද්ධ එකකි. එහෙත් රත්නපාල මහතා ගේ පී. එච්. ඩී. උපාධි අතර සිංහල විෂයයට ලබා ගත් උපාධියක් නැත.
විශ්වවිද්‍යාලය ගුරුවරයා ඉගැන්වීම, පර්යේෂණය කිරීම සහ පොත පත ලියා දැනුම බෙදා හැරීම කළ යුතු බවත්, පාසල් ගුරුවරයා පොතෙහි ඇති දෑ කියා දෙමින් දැනුම බෙදා දෙද්දී සරසවි ඇදුරා අලුත් පර්යේෂණ කරමින් නව දැනුම ලබා දෙන්නකු විය යුතු බවත් එතුමා නිරතුරු ව පැවැසූ දෙයකි.
රත්නපාල මහතා තරම් විදේශයන්හි සංචාරය කරමින් ශාස්තී‍්‍රය ජීවිතය පොහොසත් කර ගත් ඇදුරකු මෙරටෙහි ඇද්දැයි සැකයකි. රටවල් වශයෙන් ගතහොත් එය මුළු ගණන පනස ඉක්මවයි.
හිමෙන් වැසී ගිය උත්තර ධ‍්‍රැවයේ ඇස්කිමෝවරු සමඟ සීල් මත්ස්‍යයන් ආහාරයට ගනිමින් ද, නයාර් මුන්ඩුගර් තෝඩා ගෝති‍්‍රකයන්, අපි‍්‍රකාවේ සහරා කාන්තාරය අසල ජීවත්වන ගෝති‍්‍රකයන් ද සමීප මිතුරන් ලෙස ඇසුරු කරමින් ඔවුන් ගේ යාතු කර්මයන්ට සම්බන්ධ වෙමින් ඒ ගෝත‍්‍රවල සාමාජිකයකු වීමට එතුමාට හැකි විය. යේසුන් වහන්සේ ගේ ශුද්ධ භූමිය වූ ජෙරුසෙලමත්, ප‍්‍රංශයේ ලූර්දු ගුහාවත් එතුමා ගේ සියුම් නිරීක්‍ෂණයට අසු වූ තැන් ය.
මහාචාර්ය රත්නපාලයන් ගේ ශාස්තී‍්‍රය දිවියෙහි සුවිශේෂි තවත් කරුණක් නම් එය සමාජීය විද්‍යා ක්ෂේත‍්‍රයෙහි අති මහත් දැවැන්ත වපසරියක පැතිර පැවැතීම ය. එපමණක් නො ව ඒ විවිධ විෂය සන්දර්භයන් වෙත එතුමා ආකර්ශනය වූ යුගයක් ද අතිශයින් ම සංක‍්‍රාන්තික ය.
මෙරට ඒ ඒ විෂයන්හි ප‍්‍රාමාණිකයන් ලෙස සැලැකෙන උගතුන් සිටිය ද, ඔවුන් බොහෝ විට එක් විෂය ධාරාවකට සීමා වී කටයුතු කළෝ වූ හ. එහෙත් රත්නපාල සූරීහු කාලානුරූප ව විවිධ විෂය ක්ෂේත‍්‍ර ගණනාවකට ප‍්‍රාමාණිකයකු වීම විස්මයජනක ය.
1956 දී ‘සියබස් මතුර’ කාව්‍ය සංග‍්‍රහයේ සිට 2007 දී “මනුෂ්‍ය පෙ‍්‍ර්තයන් සමඟ කළ දුෂ්කර කි‍්‍රයාවක්” දක්වා එතුමා ලියූ සිංහල පොත් ගණන අසූවකට අධික ය. ඉංගී‍්‍රසි පොත් සංඛ්‍යාව තිස් පහ ඉක්මවයි.
ඉංගී‍්‍රසි, ප‍්‍රංශ, ජර්මන්, ස්පාඤ්ඤ භාෂාවලට පරිවර්තනය කර ඇති පොත් ද ඒ අතර ඇත. අද ජනපි‍්‍රය ව ඇති පොත් දොරට වැඩීමේ උත්සව පැවැත්වීම මෙරටට හඳුන්වා දුන්නේ රත්නපාල මහතා ගේ “නොදනිමි කාගේ දොසා” නම් නවකතාව 1972 දී හඳුන්වාදීමේ උත්සවයෙනි.
රත්නපාල ශූරීන් ගේ විශ්වවිද්‍යාලයීය ශාස්තී‍්‍රය දිවිය මුළුමනින් ම විචිත‍්‍ර පෙරළිකාර එකකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ මුල් වරට බෞද්ධ විහාරයක් ඇති කිරීමට බුදු පිළිමයක් රැගෙන විත් හොර රහසේ තැන්පත් කළ නන්දසේන රත්නපාල, ඒ නිසා ම නිකුලස් ආටිගල උපකුලපතිවරයා ගෙන් සති දෙකක පන්ති තහනමකට ලක් වූයේ ය.
ඉංගී‍්‍රසි භාෂාවෙන් පමණක් කතා කරන ශිෂ්‍ය සභාවේ පළමුවරට සිංහලෙන් කතා කිරීමේ වරදට රත්නපාල කලාගාරයෙන් පිටතට දැමූ බව ප‍්‍රකට ය. පේරාදෙණි සරසවියේ බෞද්ධ විහාරයක් ඇති කිරීමෙන් නොනැවතුන රත්නපාල සෑම පොහෝ දිනක ම සුදුවතින් සැරැසී සිසුන් පිරිවරාගෙන සීල ව්‍යාපාර සංවිධානය කරමින් එහි බෞද්ධ ප‍්‍රබෝධයට අඩිතාලම දැමුවේ අන්‍යාගමික සනාතන සභා බලධරයන් ගේ බලවත් විරෝධතා මැද ය.
මෙබඳු පෙරළිකාර කටයුතු ඔහු ගේ සාහිත්යික නිර්මාණවල ද ආරම්භයේ සිට ම දක්නට ලැබිණි. මුල් යුගයේ රචනා කළ “කවි රස විඳීම’ කෘතිය කවි විචාරය, වඩාත් රසවත් ලෙස ඉදිරිපත් කරනු පිණිස පෙම්වතුන් දෙදෙනකු ගේ පෙ‍්‍ර්ම සංලාපයකට මුසු කොට ලියූවකි.
පසු කාලයේ මාර්ටින් වික‍්‍රමසිංහයන් ගේ ‘නව පද්‍ය සිංහලය’ වැනි රසාලිප්ත විචාර ග‍්‍රන්ථයක් හැරුණු විට ඒ කෘතිය විවාදාත්මක කෘතියකි.
ඉන් අනතුරු ව මුල් යුගයේ දී එතුමා විසින් කරනු ලැබූ විප්ලවීය කාර්යයක් නම් විදුදයේ නූතන සිංහල පාඨමාලාව ආරම්භ කිරීම යි. මෙය විශ්වවිද්‍යාලයීය ඉතිහාසයෙහි කරනු ලැබූ විප්ලවීය අත්හදා බැලීමක් වුවත්, එයට එල්ල වූ ගල් මුල් පහරවල් අති විශාල විය.
බොහෝ අය සිතා සිටියේ රත්නපාල පේරාදෙණි ගුරුකුලවාදියකු වී විදුදය විනාශ කරන බව යි. එදා එතුමා මුහුණ දුන් කර්කෂ විවේචන අපට සිහිපත් කරන්නේ ඒවාට මුහුණ දීමට එතුමාට තිබූ ධී ශක්තිය යි.
එවකට ප‍්‍රකට විචාරකයකු වූ සිසිර කුමාර මානික්කආරච්චි වංශනාථ දේශබන්ධු නමින් තමා ගේ සාහිත්‍ය කොල්ලය කෘතියේ රත්නපාල මහතා විවේචනය කරන්නේ මෙසේ ය.
“හන්තානෙන් මාලිගාකන්දට බට තවත් වලි කාරයෙක් බා (බී,ඒ) වේ. ආනුභාවයෙන් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය කුඹුරක් හාගෙන යයි. හික්කඩුවේ ශී‍්‍ර සුමංගල නාහිමියන්ටවත් ඉන් මෙදාතුරේ කොයියම් ආචාර්ය, ප‍්‍රාචාර්යවරයාණ කෙනෙකුටවත් බැරිවුණු තරම් ගැඹුරට මාලිගාකන්දේ සාහිත්‍ය ක්ෂේත‍්‍රය සීසාන මේ පුද්ගලයා එහි කථිකාචාර්යවරයකු වන නන්දසේන රත්නපාල ය.” (සාහිත්‍ය කොල්ලය, පිටු: 94)
“හන්තාන කුලයේ ඇබිත්තයකු වූ නන්දසේන රත්නපාල මේ කොයි දේ කීවත් ඒ ගැන පුදුම විය යුතු නැත. පුදුම විය යුත්තේ සිංහල සාහිත්‍යයේත් බුදු සමයේත් මුර දේවතාවුන් වශයෙන් ගැනෙන විද්‍යෝදය විශ්වවිද්‍යාලය වැනි තැනක ඔහු ගේ මේ වෛකුල්‍ය මත පතුරුවන්නට උප කුලපතීන් වහන්සේලා ඉඩ හැර තිබීම ගැන ය.” (පිටුව 96)
මෙබඳු වාග් ප‍්‍රහාරවලට අමතර ව පෞද්ගලික පහරදීම්වලට ද සාහිත්‍යය නිසා ම එතුමා මුහුණ දුන් අයුරු කුංකම චන්දන කෘතියෙහි මෙසේ විස්තර කර ඇත.
“වරක් මම ප‍්‍රසිද්ධ දේශනයක් පවත්වා එළියට බසින විට මගේ මෝටර් රථයේ ටයර් හතර ම කපා දමා තිබිණ. තවත් තැනක දී මගේ මෝටර් රථයේ පැටෙ‍්‍ර¤ල් ටැංකියට සීනි දැමූ හ. කීප අවස්ථාවක දී ම ප‍්‍රසිද්ධ වේදිකාවේ දී ම මට පහර දීමට සමහරු ඉදිරිපත් වූහ.
වරක් පිළියන්දල දී තව වරක් වරකාපොල දීත්, ගාල්ලට යන අතරමඟ දීත් මැරයෝ මට පහර දුන් හ. සාහිත්‍යයේ උනන්දුව ඒ තරම් ම උණුසුම් විය. මම ඒ නිසා වඩාත් උනන්දු වී මහන්සි වී පත පොත ලීවෙමි.” (කුංකම චන්දන, පිටුව 88)
මෙබඳු උග‍්‍ර විවේචන එතුමාට එල්ල වුව ද එවකට ඇතිවුණ සාහිත්‍ය ප‍්‍රබෝධයෙන් උදම් වුණු එතුමා ගේ විදුදයේ සිංහල හැදෑරූ සිසුවෝ ‘එළිය’ නමින් සම්භාවනා කෘතියක් මුද්‍රණය කොට නන්දසේන රත්නපාල කථිකාචාර්යවරයාට අභිනන්දන උලෙළක් පැවැත්වූවෝ ය. සහකාර කථිකාචාර්යවරයකු වෙනුවෙන් මෙරටෙහි මුල්වරට සකස් කළ අභිනන්දනය වන්නේ එය යි.
රත්නපාල මහතා ගේ දෙවන ශාස්තී‍්‍රය යුගය සිංහලට ආයුබෝවන් කියා මානවවිද්‍යාවට පිවිසීමත් සමඟ ඇරැඹෙන්නකි. එයද විවාදාපන්න ය. නූතන සිංහල පාඨමාලාව වසා දැමීමට බලධාරීන් තීරණය කිරීමත් සමඟ මානවවිද්‍යාව ඉගෙනීමට ජර්මනියට යෑමට රත්නපාල මහතා තීරණය කෙළේ ය.
එවකට ශාරීරික මානවවිද්‍යාව පමණක් ඉගැන්වූ මානවවිද්‍යා අංශයට සංස්කෘතික සමාජ මානවවිද්‍යාව ද එකතු කරන්නැ යි එතුමා ගෙන් ඉල්ලා සිටියේ මාර්ටින් වික‍්‍රමසිංහ මහතා ය. කෙසේ වුව ද මානවවිද්‍යාව හදාරා ලංකාවට එද්දී විදුදයේ මානවවිද්‍යා අංශය නැති කොට ඉතිහාසයට ඒ විෂය සම්බන්ධ කර තිබෙනු රත්නපාල මහතාට දැකගත හැකි විය.
 රත්නපාල මහතාට සිංහලත් මානවවිද්‍යාවත් යන අංශ දෙක ම අහිමි වූවා පමණක් නො ව, මාස ගණනාවක් වැටුප් නොගෙවීමට ද බලධාරීහු කටයුතු කළ හ. කෙසේ වුව ද පසු ව මහාචාර්ය රත්නපාල මහතා නැවතත් සමාජ මානවවිද්‍යා අංශය තම සරසවියෙහි පිහිටුවා ගැනීමට පුරෝගාමි වෙමින් දශකයට වැඩි කලක් එහි අංශාධිපති ලෙස මහත් වූ කැප වීමකින් සේවය කෙළේ ය.
සමාජවිද්‍යාව පොදු ජන සමාජයට රැගෙන ගිය යුගය ඒ යුගය යි. ඉංගී‍්‍රසි කතා කරන සීමිත පිරිසකට සීමා වී තිබූ සුපිරි පැලැන්තියේ විෂයයක් වූ සමාජ විද්‍යාව දේශීය ඥානයෙන් ඔපවත් කොට, අපට ආවේණික සංස්කෘතිකාංග එකතු කොට දේශීය සමාජවිද්‍යාවක් ගොඩනැඟීම එතුමා ගේ ඒකායන පරමාර්ථය විය.
සමාජවිද්‍යාව පිළිබඳ එතුමා ගේ දෘෂ්ටිය පස්වන වරටත් නොබෝදා නිකුත් වූ සමාජවිද්‍යා පර්යේෂණ මූලධර්ම නම් කෘතියෙහි දක්වා ඇත්තේ මෙසේ ය.
“අද සමාජවිද්‍යාව ලංකාවේ දියුණු වී ඇත. අපට ආවේණික වූ සංස්කෘතියෙන් හා බුදු දහමින් ලබාගත හැකි සංකල්ප හා ක‍්‍රමවේදයන් ගැන අපේ සමාජ විද්‍යාඥයන් කල්පනා කොට නොමැත. බටහිර ආභාසයෙන් හා සම්ප‍්‍රදායයෙන් අඟලක් වෙනස්වීම අපේ සමාජ හා මානවවිද්‍යාඥයන් බොහෝ දෙනකුට කළ නොහැකි විය.
එය අවමානයක් ලෙස ඔවුහු සලකති. ඔවුනට එය විද්‍යාත්මක නැත.” (සමාජ විද්‍යා පර්යේෂණ මූලධර්ම, පි.01)
“... බුදු දහම හරිහැටි නොදත් සිංහල සංස්කෘතිය නොදන්නා අපේ සමාජ මානව විද්‍යාඥයන් එය කරන්නේ කෙසේ ද? එංගලන්තයේ හා ඇමරිකාවේ සමාජවිද්‍යාව උගත් ඒ අය තම ගුරුවරුන් ඉගැන්වූ දේ වෙනස් කරන්නට ඉදිරිපත් වන්නේ නැත. එසේ කරනවා නම් ඒ වෑයම විද්‍යාත්මක නොවන බව ඒ අය කල්පනා කරති.” (පිටුව 08)
නන්දසේන රත්නපාල මහතා හඳුන්වා දුන් සමාජවිද්‍යා සම්ප‍්‍රදායය කෙබඳු එකක් ද යන්න මින් පෙනේ. එහෙත් දශක තුනක පමණ කාලයක් මෙරටේ ස්ථාපිත වී තිබූ සමාජ විද්‍යා සන්දර්භය තුළ එය අශාස්තී‍්‍රය එකක් බව පෙනී යෑම ස්වභාවික ය.
ශාස්තී‍්‍රය බව මනින ඒ බටහිර මිනුම්දඬුවලට අභියෝග කරමින් එතුමා මෙරට අලුත් සමාජ විද්‍යා සම්ප‍්‍රදායයක් ගොඩනැංවීමට පුරෝගාමී විය. සමාජවිද්‍යාව, මානවවිද්‍යාව, අපරාධවිද්‍යාව, අපරාධ යුක්තිය පිළිබඳ ප‍්‍රධාන විෂය ධාරාවන් තුනක් උගන්වන ප‍්‍රධානතම ජාතික විශ්වවිද්‍යාලයය ලෙස විදුදය සරසවිය පෙරට ආවේ නන්දසේන රත්නපාල මහාචාර්යතුමා ගේ අප‍්‍රමාණ කැපවීමට පින්සිදුවන්නට ය.
නන්දසේන රත්නපාල මහතා සිය ජීවිතයෙහි අවසාන කාලය ද නිකරුණේ ගත කිරීම කැමැති නො වූ උද්යෝගිමත් චරිතයක් විය. ඒ කාලයේ දී එතුමා ගේ උනන්දුව ප‍්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ යොමුව පැවැතිණ.
ඉන් පළමු වැන්න නම් වීදි දරුවන් පිළිබඳ සුබ සාධනය යි. දෙවැන්න ගුප්ත ආත්ම පිළිබඳ ගවේෂණය යි. වීදි දරුවන් පිළිබඳ ව එතුමා දැක්වූයේ අප‍්‍රමාණ අනුකම්පාවකි. එතුමා ගේ පුරෝගාමීත්වයෙන් මීගොඩ පිහිටවූ සන්හිඳ ළමා නිවාසය මෙරටේ වීදි දරුවන් පුනරුත්ථාපනය කරන අංග සම්පූර්ණ නිකේතනය ලෙස හැඳින්විය හැකිය.
ඔවුන් සමඟ සිය ජීවිතයේ අවසාන කාලය ගත කරනු කැමැති වූ මහාචාර්යවරයා එහි ම කුඩා කුටියක් තනාගෙන පොත් පත් ලියමින් දරුවන් ගේ දුක සැප බලමින් කාලය ගත කෙළේ ය.
නන්දසේන රත්නපාල මහතා ප‍්‍රවාහිකාවක් ආශ‍්‍රය කරගෙන ගුප්ත ආත්ම ගවේෂණය ආරම්භ කෙළේ ඉතා මෑතක දී ය. තමා සමඟ ජීවත් වූ මිය ගිය මහා වියතුන් අපා දුක් විඳිමින් භූතයන් ලෙස ඒ ප‍්‍රවාහිකාව මඟින් එතුමා සමඟ කථා කළ අවස්ථා රාශියක් විය.
පුද්ගලයකු පෙ‍්‍ර්තයකු වී අපාගත ලබන්නේ ඇයි ද යන්න තේරුම් ගැනීමට අප‍්‍රමාණ වෙහෙසක් දැරූ එතුමා, ජීවත් ව සිටින කාලයේ දී තමන් විසින් කරනු ලැබූ යම් යම් නොපනත් කම් නිසා ම තමන් පෙ‍්‍ර්තයන් වී දුක් විඳින බව ඔවුන් ගෙන් ම දැනගත් අතර, ඔවුන් කී කරුණු කොතරම් දුරට සත්‍ය දැයි ආනුභවික ව ම සොයා බලා ඔවුන් ගේ ඉදිරිපත් කිරීම් නිවැරැදි බව පිළිගත්තේ ය.
පෙ‍්‍ර්තයන් කියූ කරුණුවල ඇත්ත නැත්ත සෙවීමට බොහෝ දුර අපි ගමන් කෙළෙමු. පෙ‍්‍ර්තයන් ලෙස උපත ලැබූ තමා හඳුනන ආශ‍්‍රය කළ පුද්ගලයන් ගැන එතුමා දන්නා පෞද්ගලික තොරතුරු පසු ව ඔවුන් ගෙන් ලබා ගත් කරුණු සමඟ සසඳ්‍ර බලා නිගමනයට ඒමට එතුමාට අවශ්‍ය විය.
බොරු කීම, දුරාචාරය, මහජන මුදල් ගසා කෑම, දුරාචාරය මිනී මැරීම වැනි අපචාර මිනිසා කොතරම් විශාල ප‍්‍රපාතයකට ඇද දමන්නේ ද යන්න මුළු රටට ම පෙන්වා දීමට එතුමා දැරූ උත්සාහය අප‍්‍රමාණ ය.
මිය යෑමට සති තුනකට පමණ පෙර රාති‍්‍රයෙහි තමා ගේ කාමරයෙහි ජනේලය අසල සුදු පැහැති ආලෝක ධාරාවක් තමා සමඟ කථා කිරීමට උත්සහ කළ බවත්, තමා ඒ සඳහා ඔහුට ආරාධනා කළ ද ඒ ආත්මය තමා වෙතට ඒමට බිය වූ බවත් එතුමා මා සමඟ පවසා තිබිණි.
තම ජීවිත කාලය තුළ ගුප්ත බලවේග සමඟ මුහුණට මුහුණලා කතා කිරීමට තමාට හැකියාව ලැබෙන බව එතුමා නිතර ම විශ්වාස කෙළේ ය. එමෙන් ම පෙ‍්‍ර්තයන් ගේ ඡායාරූප කීපයක් ද එතුමා සතු ව තිබිණි. පෙ‍්‍ර්තයන් ගේ කටහඬ හා රුව ලබාගත හැකි විද්‍යුත් ආම්පන්න ලබා ගැනීමට ද ඒ ඔස්සේ ගුප්ත ආත්ම පිළිබඳ පොතක් ලිවීමට ද එතුමා ආශාවෙන් සිටියේ ය.
තමා කරන සියලු හොඳ නරක මරණින් මතු තමා සමඟ පැමිණෙන බවත්, ඒ කර්මයට පිටු පෑමට කිසිවකුට නොහැකි බවත් තරයේ විශ්වාස කළ එතුමා ඒ සත්‍යය ආනුභවික ව ම අත්හදා බලමින් මිනිසුන් සහ සතුන් මැරූ දරුණු අපරාධ කරුවන් ගේ අවසානය සියැසින් දැක “මෙලොව දී පලදෙන කර්මය” නමින් පොතක් ලීවේ ය.
සිවුපා සතුන් යහපත් කර්ම කිරීමට නොදන්නා නිසා ඔවුන් නිසැක ව ම සත්ත්ව සිවුපා ආත්මවලින් මිදෙන්නේ නැති බව විශ්වාස කළ එතුමා තම නිවසේ සුරතලයට ඇති කරන සුනඛයන් ආගමික වතාවත් කරන වේලාවල ළඟින් තබාගෙන සිටීමට උනන්දු විය.
තමා ලියූ “නොදනිමි කාගේ දොසා” නවකතාව ලියද්දී තමා ළඟ වැතිරී සිට තමාට තනි රැක්ක ‘උලෝ’ නම් සුනඛයාට ඒ කෘතිය පිළිගැන්වීම එතුමා කැමැති විය. සිය නිවසේ ඇති කළ බල්ලන් සහ බළලුන් මියගිය පසු ඔවුන් වෙනුවෙන් දානමාන දී පින්පෙත් දීම ද එතුමා ගේ සිරිතක් ව පැවැතිණි.
මහාචාර්ය රත්නපාල මේ දහසකුත් පර්යේෂණ මැද අතිශයින් දයාබර කරුණාවන්ත, මිනිසකු සතු මනුස්සකම රැක ගත් උදාර චරිතයක් යයි මේ ලිපිය අවසන් කළ හැකි ය. එහෙත් එය එතුමා ගේ සංවේදී ගුණය පිළිබඳ නිසි ඇගයුමක් නො වේ.
මිනිසුන් ගේ නොපනත්කම්, අමතක කිරීම්, එතුමා තුළ ඇති කළ කම්පනය අතිමහත් ය. මුදල් සහ රාගය හැම තැන ම සර්පයන් ලෙස මිනිසාට දෂ්ට කරන බව එතුමා නිරන්තරයෙන් ම පැවැසුවේ ය.
දිනපතා උදේ හත හමාරටත් රාති‍්‍ර අටටත් දුරකථනයෙන් මා අමතන එතුමා හැමදාමත් කියන්නේ එක ම දෙයක්. “අද ඔබ කරන යහපත හෙට මිනිසුන් අමතක කරනු ඇත. ඒත් නොසැලෙන්න හොඳ දෙයම කරන්න යනුයි ඒ” නන්දසේන රත්නපාල මහතා ගේ චරිතය සැබැවින් ම විරෝධාලංකාර චරිතයක් බව නැවතත් කිය යුතු ය.
දහසක් මිනිසුන් මැද එතුමා හුදෙකලා වී සිටි චරිතයකි. එහෙත් ඒ හුදෙකලාව කලකිරීම, පසුතැවිල්ලකින් ගෙවා නොදැමූ එතුමා, නිරන්තරයෙන්ම යම් කාර්යයක නියැලී සිටිමින් ලබා දුන් ආදර්ශය විශිෂ්ට ය.
 ‘රොබර් ලවර්’ නමින් විස්මයජනක ගුප්ත ජීවිතයක් ගත කරන මිනිසකු පිළිබඳ ව රසවත් ඉංගී‍්‍රසි නවකතාවක අවසාන කොටස ලියමින් සිටි එතුමා, සිය මුළු මහත් ජීවිත කාලය තුළ හමු වූ දයාබරිත මිනිසුන්, ලොව පුරා තමා සංචාරය කළ තැන් පිළිබඳ ව පිටු දහස ඉක්මවූ කවි පොතක් ‘කලවානෙ දි ලියු කවි’ නමින් ලියා මා වෙත එවා තිබිණි.
නන්දසේන රත්නපාල මහතා තරම් මිනිසුන්ට අත දුන් මිනිසුන් ගේ දියුණුව ප‍්‍රාර්ථනා කළ, තමාට වඩා ඉහළ තැනකට තම ශිෂ්‍යයා ගමන් කරනු දැකීමට කැමැත්තෙන් සිටි සරසවි ඇදුරකු ගැන සිතීමට අමාරු ය.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගේ ගැටලු, ඔවුන් ගේ පැත්තෙන් බලා ඒවාට විසඳුම් දීමට එතුමා නිතර ම උනන්දු විය. වරක් එතුමාට දේශනයකට ඇරියුම් කිරීමට පැමිණි සටන්කාමී දේශපාලන පක්ෂයක නායකයකු ගෙන් එතුමා කළ එක් ඉල්ලීමක් මට මතක ය.
 “විශ්ව විද්‍යාලවල නවකවදය පිටුපස ඉන්න ශිෂ්‍ය සංවිධානවලට කියන්න නවක වදයට කිසි ම අනුබලයක් දෙන්න එපා කියලා. ඒ සංවිධාන ඔක්කෝට ම කතා කරන්න පුළුවන් ඔබ තුමාට විතරයි. ඒ පොරොන්දුව මට දෙන්න.
මම ඕන උදව්වක් කර දෙන්නම්.” නවක වදය නිසා ආබාධිත වූ නිවෙස්වල සිටින දහ අට දෙනකු හඳුනා ගත් රත්නපාල මහතා ඔවුන් හමුවීමට ගොස් ආපසු ආවේ බලවත් කම්පාවෙනි. මේ දරුවන් වෙනුවෙන් යමක් කිරීමේ වැදගත්කම එතුමා උසස් අධ්‍යාපන බලධරයන්ට ද ලියා එව්වේ ය. එහෙත් ඉන් කිසිදු පලක් සිදුවූයේ නැත. තමාට බරපතළ අසාධාරණයක් කළ අයකුට වුව ද එතුමා දැක්වූයේ පුදුම සහගත කරුණාවකි.
තමා උගත් දෙය මුදලට විකිණීම තරයේ ම ප‍්‍රතික්ෂේප කළ එතුමා මෑත දී ලැබුණු අන්තර්ජාතික ළමා අරමුදලේ උපදේශක තනතුර ප‍්‍රතික්‍ෂේප කෙළේ තම සේවය තම රටේ වීදි දරුවන් වෙත ලබාදීම එයට වඩා වැදගත් බව පවසමිනි. මියයන අවසාන මොහොත තෙක් ම එතුමා පොදු ජනතාවට සේවය කරමින් සිටි චරිතයක් බව විවාද රහිත ය.
නන්දසේන රත්නපාල මහතා දැන් අප අතර නැත. එහෙත් එතුමා මෙරටේ ජාතික සංවර්ධනයට කළ අනල්ප මෙහෙය තව බොහෝ කල් නොනැසී සිහිපත් කළ හැකි මෙහෙයකි. මුළු මහත් ජනතාවට ම දැනෙන එබඳු උදාර මෙහෙයක් සිදු කෙට මිය ගිය වෙනත් විශ්වවිද්‍යාලය මහාචාර්යවරයකු ගැන සිහිපත් කළ නොහැකි ය.
එතුමා නිතර පැවසූ දෙයක් මට සිහිපත් වේ. “මගේ ජීවිතයේ මට ම කියා මා උපයාගත් ධනයක් නැත. මට ඇති එක ම ධනය මා ලියූ පොත්ටික හා අවුරුදු හතළිහක් මා ඉගැන්වූ තිස්දහසකට ආසන්න වූ සිසු සිසුවියන් පිරිස පමණි. සැනසිල්ලේ මැරෙන්නට මට එය ඇති.”

No comments:

Post a Comment