එරාගේ අදහස් උදහස් සමඟින් සියළුම අභියෝග මැඩලීමට හා නව ලෝකයක් දැකීමට එක්වන්න........

Monday, June 12, 2017

පිටකොටුවේ කෙරුවාව... විමර්ෂණගත වාර්ථාව

1505 දී ලොරෙන්සෝ ද අල්මේදාගේ නායකත්වයෙන් යුතු පෘතුගීසි නාවුක කණ්‌ඩායම ලංකාවට ගොඩබැස ඇත්තේ දැන් අප පිටකොටුව නමින් හඳුන්වන අනර්ඝ මල්වත්තකින් සහ වැව් කඩිත්තකට ඔබ්බෙන් (පිටුපසින්) පිහිටා තිබූ මනරම් කුඩා ස්‌වාභාවික වරායට බව ඉතිහාසය සාක්‍ෂි දරයි. එම සුන්දර තොටුපළ කොළොං තොට ලෙස එකල හැඳින්වූයේ කැලණිගඟ මුහුදට වැටුණු කැලණි තොට නිසා බව ජනප්‍රවාදයේ කියෑවෙන අතර සමහරු කියන්නේ එහි තිබූ විශාල කොළොං හෙවත් කොළ අඹ ගස නිසා මෙයට කොළඹ තොට (Harbor with leafy mango trees) කියූ බවයි.
අද ඉතා ජනාකීර්ණ ගොඩනැඟිලි බහුල ගෙන්දගං රස්‌නය දෙන කොන්ක්‍රීට්‌ වනාන්තරයක්‌ වුවද එදා පිටකොටුව සහ කොළොංතොට ආශ්‍රිත පරිසරය ඉතා සිත් ගන්නා සුලු මනරම් මල් වත්තකින් තණකොළ පිට්‌ටනියකින් සහ වැවකින් සමන්විත විය.
එවකට කෝට්‌ටේ රජවූ 8 වැනි පරාක්‍රමබාහු රවටා ගසා ගත් වංචනික ගිවිසුම මත පෘතුගීසීන් තම බලකොටුව සහ ආධිපත්‍යය මේ වරාය සහ ඒ අවට පුරාත් මුහුදුබඩ තීරයේත් පතුරාගත් අතර කොළොංතොට කොළඹ හෙවත් කළම්බු ලෙස නම් කළහ. කොටුවෙන් පිට ප්‍රදේශය පිටකාටුව ලෙස සිංහලුන් අමතන්නට වූ අතර ඉන්දියාවේ කේරළයෙන් මෙහි පැමිණි වෙළෙන්දන් ඔවුනගේ රටේ තිරුවනාපුරම් නගරයට ආසන්න කෝලම් වෙරළට ආසන්නයේ ඇති පෙටා නැමැති කුඩා වරාය සහ නගරය සිහිවන්නට මෙම පිටකොටුවට පෙටා කියා නම් තැබීය. පෘතුගීසීන් මෙන්ම පසුව 1656 දී ඔවුන් පන්නාදමා කොළඹ අල්ලාගත් ලන්දේසීන්ද මෙම පෙදෙස වෙළෙඳ කලාපයක්‌ බවට පත් කරගත් අතර ඔවුහු අප රට තුළ වවන්නට ආරම්භ කළ කුරුඳු, පොල්, රබර් වැනි දේ නැව් ගත කිරීමට කොළඹ වරාය භාවිත කළහ.
1796 දී ඉංග්‍රීසීන් විසින් කොළඹ අල්ලාගත් අතර ඔවුන් 1815 දී උඩරට රජුන් සමග ගැසූ ගිවිසුමෙන් අනතුරුව කොළඹ නගරය ඔවුනගේ අගනුවර ලෙස නම් කරන ලදී. ඒ වන විට සම්පූර්ණයෙන්ම වෙළෙඳ කලාපයක්‌ බවට පෙරළී තිබූ කොළඹ තව තවත් දියුණු වී දමිළ, යෝනක, මැලේ, කොච්චි, ඉන්දියන්, චීන, අරාබි, බෝරා, ලන්සි වැනි විවිධ ජාතීන්ට අයත් මිනිසුන් ගැවසෙන බහු ජන කලාපයක්‌ බවට පත්විය.
තම නිෂ්පාදන සහ කෘෂි ද්‍රව්‍ය විදේශීය වෙළෙඳුන්ට විකුණණ පිණිසත් නැව්ගත කොට පිටරට පටවනු පිණිසත් සීතාවකින්, සබරගමුවෙන්, ඈත රුහුණෙන් ගැල් සහ තවලම් පිටින් ගැමියෝ සහ කුලී කරත්තකාරයෝ කොළඹට ඇදී එන්නට වූහ. එසේ එන මිනිසුන් තම ගැල් නිදහස්‌ කොට ගවයන් දිගේලි කර ගිමන් හැරියේ දවටගහ නමැති ප්‍රදේශයේ බව ඉතිහාසය පවසයි. එහි පැවැති විශාල වැව නිසා ඔවුන්ට පහසුවෙන් කොළොම් තොටට ළංවීමට හැකි නොවූ අතර හරකුන් දවටගහ පාමුල දිගේලි කොට ඔරු පාරු මගින් ඔවුන් වරාය ආසන්නයට පැමිණ මල්වත්තේ දිගාවී විවේක සුවයෙන් හිඳිමින් සුද්දන්ගේ සුද්දියන්ගේ රැඟුම් මෙන්ම ඉන්දියන් සහ මලයාලම් කාරයන්ගේ නූර්ති නාගඩම් නාටක රසවිඳිමින් සිටි බව පැරණි වාර්තාවල සඳහන්වේ. එකල එංගලන්තයෙන් නැටුම් කණ්‌ඩායම් සහ ඉන්දියාවෙන් සර්කස්‌ කණ්‌ඩායම් මෙහි පැමිණ කොළඹ තොටුපළ ඉදිරිපිට මල්වත්තේ සහ තණ පිට්‌ටනියේ තම සෙල්ලං පෙන්වා ඇත. අදටත් මල්වත්ත පාර යනු ඒ උද්‍යානයට ගිය මාවතයි. ඇස්‌වාට්‌ටුව අසළ ඇති දවටගහ පල්ලිය අයත් භූමියේ එදා ඒ විශාල දවටගහ පිහිටා තිබුණි. කුණු කසළ එක්‌ව අද අපිරිසිදුවට ජරාවාසයට පත්වී ඇති බේරේ වැව එදා ගැමියන්ගේ පිපාසය නිවූ සුනිල දියදහරක්‌ හා ගිමන නිවන ජල තටාකයක්‌ තිබී ඇත.
එදා සුද්දන්, සුද්දියන් සෙල්ලං පෙන්වූ, මහා පරිමාණයේ කෘෂි නිෂ්පාදන වෙන්දේසි වුණ ගම්පෙරළියේ යුගාන්තයේ, සඳහන් වන පියල්ලා, සයිමන්, කබලානලා තම ව්‍යාපාරවලට අත්පොත් තැබූ අලංකාර තණ පිට්‌ටනිය මත කෙලෝනියල් ක්‍රමයට ගොඩනැඟිලි ඉදිවී පිටකොටුව තනිකරම සුන්දරත්වයෙන් ඈත්වී ගොසිනි. අපි දැන් එදා කොළඹ ගැන නොව අද කොළඹ සහ පිටකොටුව දෙස බලමු.
කොළඹ යනු තාමත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයයි. පරිපාලන බෙදීමට අනුව කොළඹ ප්‍රධාන කොටස්‌ 15 කට වෙන්කර ඇත කොළඹ 01 කොටුව වන අතර ඉතිරිවා පිළිවෙළින් කොම්පඤ්ඤ වීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, කිරුලපන හා නාරාහේන්පිට, කුරුඳුවත්ත, බොරැල්ල, දෙමටගොඩ, මරදාන, පිටකොටුව, අලුත්කඩේ, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්‌ සහ මට්‌ටක්‌කුළියයි. ඉන් 11 වන කොළඹ යනු පිටකොටුවයි.
බහුතරයක්‌ වැදගත් මර්මස්‌ථාන වලින් පිරි කොළඹ 01 වන කොටුවට නැගෙනහිර දෙසින්ද, එක්‌ පැත්තකින් වරායෙන්ද, අනික්‌ පසින් කොටුව දුම්රියපළ ඉදිරියෙන් දිවයන ඕල්කොට්‌ මාවතින්ද, උතුරින් ගෑස්‌පහ හන්දිය සහ වුල්µeන්ඩ්ල් මාවතෙන්ද වටවී ඇති පිටකොටුව අද අප රටේ ඇති ජනප්‍රියම සහ කාර්යබහුලම නගරය යෑයි කිව හැකිය.
කොළඹ ජාත්‍යන්තර වරාය, ගමනාගමන මණ්‌ඩලයට අයත් ප්‍රධාන බස්‌ නැවතුම් පළ, විශාල ඉපැරණි බෝගස සහ බෝධිරාජ විහාරය, රතු පල්ලිය තුන්වන හරස්‌ වීදියේ මුස්‌ලිම් දේවස්‌ථානය, වුල්න්ඩ්ල් පාරේ ඉපැරණි ඕලන්ද පල්ලිය, පැරණි නගර ශාලාව, පිලිප් නේරි නම් කතෝලික පල්ලිය, පිටකොටුව පොලිසිය, මැනිං මාර්කැට්‌ටුව හෙවත් එළවළු වෙළෙඳපොළ, ස්‌වර්ණාභරණ සඳහා ප්‍රසිද්ධ හෙට්‌ටිවීදිය වැනි සුප්‍රසිද්ධ ස්‌ථානවලට අමතරව අද අප රටේ රෙදිපිළි ව්‍යාපාරයේ මෙන්ම හාල් පිටි සීනි අල ලූනු කුලුබඩු බෙහෙත් බඩු වැනි අත්‍යවශ්‍ය භාණ්‌ඩ වල තොග වෙළෙඳාම තනිකරම රැඳී ඇත්තේ පිටකොටුවේ ව්‍යාපාර කරන වෙළෙඳුන් අත බව සියල්ලෝම දනිති.
සඳුදා සිට සෙනසුරාදා දක්‌වා අලුයම සිට ගොම්මන දක්‌වා ඉතා කාර්ය බහුල ජනාකිර්ණ වාතාවරණයක්‌ පිටකොටුව වීදී සහ පාරවල් තුළ තිබුණද රාත්‍රී කාලයේ සහ ඉරිදා දිනවල මෙහි ඇත්තේ අමුතු නිහඬ නිශ්චල බවක්‌ සහ ගුප්ත පරිසරයකි. සතියේ දිනවල එහෙ මෙහෙ යන සෙනඟ, කරත්ත තල්ලු කරගෙන සහ කරේ තබාගෙන බඩු මලු එහෙ මෙහෙ අදින නාට්‌ටාමිවරු, කෑ මොර දෙමින් ටොයිස්‌ බඩු සපත්තු, රෙදිපිළි ආදිය විකුණන පදික වෙළෙන්දන්, යාචකයන් වෙනුවට රාත්‍රි කාලයේ අපට පිටකොටුවේ වීථි අතරේ දකින්නට ලැබෙන්නේ නිදි මතේ එහෙට මෙහෙට වැනෙන රාත්‍රී මුරයට සේවයට වාර්තා කරන සිකියුරිටි ලොක්‌කන්, ඔහේ පාරවල් දිගේ ඇවිදින පාදඩයන්, භූතයන් මෙන් එහෙට මෙහෙට වැනෙමින් ගමන් කරන බේබද්දන් සහ පැයෙන් පැයට හෝ පැය කීපයකින් කීපයකට පැට්‍රොaල් පොත් අස්‌සන් කරන්නට ඇවිදින පොලිස්‌ නිලධාරීන්ය.
මේ අයට අමතරව තවත් කොටසක්‌ රාත්‍රියට පිටකොටුවට එලි බසිති. ඒ කොටුව දුම්රියපළ ඉදිරිපිට ඇති පළවෙනි හරස්‌ වීදියේ මුල සහ අනෙකුත් හරස්‌ වීදි මැද තම රජ දහන කරගත් රාත්‍රී වීදි ලිංගික ශ්‍රමිකාවන්ය. (ගණිකාවන්) ඔවුන්ගෙන් බහුතරයක්‌ හෙරොයින් කුඩුවලට තදින්ම ඇබ්බැහි වූ කෘෂවූ සිරුරු ඇති ඉතා අසංවර ලෙස ඇඳ පැළඳගත් ගරුසරුව කතා කිරීමට නොදන්නා ගැහැනුය. නිතර බුලත් විටකින් කට පුරවා සිටින මෙවැන්නියන් අත දුම්වැටියද සුලබය. ඔවුනගේ සේවය සොයා එන සල්ලාලයන්ගෙන් බහුතරයක්‌ දෙපැත්තට වැනෙන බීමත් මිනිසුන්ය. ඕල්කොට්‌ මාවතට මුහුණලා සහ අඳුරු හරස්‌ පාරවල ඉතා අඩු මුදලට ලොඡ් සහ අපිරිසිදු කාමර තිබුණද ඔවුන්ට තම කාරිය කර ගැනීම සඳහා අවශ්‍ය වන්නේ ජනශූන්‍ය පාර අයිනේ අඳුරු මුල්ලක අටවා ගත් තාවකාලික කාඩ්බෝඩ් ආවරණයක්‌ හෝ කඩයක අගු පිලකි. මෙම ගැහැනුන් ගණිකාවන් මෙන්ම මහා හොර දෙටුවන්ය. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ ලිංගික සේවා සැපයීම නොව තමා සොයා එන අසහනකාරී අහිංසක සල්ලාලයා බය කර ඔහුගේ පසුම්බියට පහර දීම හෝ ඔහුගේ ඉහේ සිට දෙපතුළ දක්‌වා සුද්ධ කර ගැනීමය. එම කාන්තාවන්ට සහයට පිරිමිද ඒ අවට සැඟවී සිටිති. බොහෝ විට එවැන්නකු බේබද්දෙකු නැතහොත් හෙරොයින් මත්ලෝලී පිම්පියෙකු වන අතර ඔහුගේ රාජකාරිය වන්නේ දෙදෙනා තම කාර්යයට සෙට්‌ වීම අයිනක සැඟවී සිට බලා හිඳ වැඩේ උච්ච අවස්‌ථාවට ළංවෙද්දී “අඩෝ උඹ මගේ ගෑණිට මොනාද කරන්නේ” කියා කෑ ගහගෙන මැද්දට පැන පිහි කොටයක්‌ පෙන්නා මෑන්ව සුද්ද කිරීමයි. එසේත් නැත්නම් “ඔන්න පොලිසියෙන් එනවා. දුවපාං” කියා කෑගසමින් පාරට පැනීමයි. මෙම ක්‍රියාව අතරතුරේදී ගැහැනිය තම සේවාලාභියාගේ මුදල් පසුම්බියට හෝ කර බැඳි රන් මාලයට ගානට වග කියා අවසානය. පිහි කොටය දැක මරණ බියට හෝ පොලිසියට අසුවුවහොත් ඇතිවන ලැඡ්ජාව නිසා zකස්‌ටමර්දZ පස්‌ස නොබලා දුවගොස්‌ නවතින්නේ එක්‌කෝ මධ්‍යම බස්‌ නැවතුම් පොලේයි. නැතිනම් ඉස්‌ටේසමේය. සමහරු තේ බොන්නට මෙන් රෑ කඩේකට රිංගා තම කලිසමේ බොත්තං පියවා ගනිති.
රාත්‍රියට එසේ වුවද දවාලට මෙසේය. අප නිතර නිතර පිටකොටු එන රැසකගෙන්ම පිටකොටුව පිළිබඳ අත්දැකීම් සහ අදහස්‌ විමසා සිටියෙමු. මේ ඔවුන් කීප දෙනෙකුගේ අදහස්‌ය.
“මම සතියකට දෙතුන් වතාවක්‌ පිටකොටු එනවා. අපේ කඩවත රෙදි සාප්පුවට ඇඳුම් අරන් යන්න. මං ගෑනු කෙනෙක්‌ නිසා මුලින්ම මට පොඩි බයක්‌ ආවා තනියම එන්න. ඒත් දැන් පුරුදුයි. මෙහෙ ඉන්න මුදලාලිලා ගොඩක්‌ හොඳයි. ඒත් පාරේ යද්දි නම් හරියට කේන්ති යනවා. මිනිස්‌සු ඇඟටමයි එන්නේ. හරියට පාරේ යන්නේ අඬු විහිදගත්ත කකුළුවො වගේ. එහෙම නැත්නං පිල් විදහගත්තු මොනරු වගේ. ඒ මොකද දන්නවද ගෑනු අපේ අඟ පසඟ වල ඒ අයගෙ අත් වද්දගෙන වින්දනයක්‌ ගන්න. බොරුනං මහත්තයො තව ගෑනු අයගෙන් අහල බලන්න මං කියන්නෙ බොරුද කියල.”
මම තවත් කාන්තාවන් කීප දෙනෙකුගෙන්ම මේ ගැන විමසා සිටි අතර සමහරු ලැඡ්ජාවෙන් සිනාසී බිම බලා ගත් අතර අනික්‌ අය බහුතරයක්‌ ඒ ඇත්ත බවට ස්‌ථිර කළෝය.
“මං දැන් අවුරුදු තිහක්‌ මේ බජාර් එකේ වැඩ. මං නාට්‌ටාමියෙක්‌ කර ගහල තමයි සල්ලි හොයන්නෙ. සමහරදාට හත් අට දාහ හොයනව මං ඉස්‌සර කුඩු බිව්ව. දැන් නවත්තලා අවුරුදු අටක්‌ වෙනව. ඒත් අපේ අනික්‌ නාට්‌ටාමිලාගෙන් වැඩි දෙනෙක්‌ මොනා හරි මත් වෙන එකක්‌ පාවිචිචි කරනවා. වැඩි දෙනෙක්‌ කුඩ්ඩො. පව් වැඩේ මහන්සියෙන් හම්බ කරන දාස්‌ ගාණක්‌ කුඩු පැකට්‌ එකකට නාස්‌ති කරනවා. කොච්චර සංවිධාන මත් කුඩුවලට විරුද්ධව කෑගැහුවත් අපේ උන් ගාවට කවුරුවත් එන්නෙ නැහැ.”
ඒ තුන්වැනි හරස්‌ වීදියේ ඉම්රාන්ගේ අදහසයි.
කාන්ති අක්‌කා නගර සභාවේ රථ පාලිකාවක්‌ හෙවත් පාකිං නෝනා කෙනෙකි. මේ ඇගේ දැක්‌මයි.
“දැන් නං පිටකොටුව කියන්නෙ මහ අසූචි වළක්‌. වැස්‌සදාට කානු බ්ලොක්‌ වෙලා මුළු පලාතම යට වෙනව. ඒකට හේතුව කඩවලින් එළියට දාන පොලිතින් පෝර බෑග් වගේ දේවල් බෝක්‌කු කාණු අස්‌සෙ හිරවෙලා වතුර බහින්න බැරි වෙනව. මොන ආණ්‌ඩුව ආවත් මේකට තාම හරි විසඳුමක්‌ දුන්නෙ නැහැ. අනික පාකිං කෙරුවාව, පිටකොටුව වටේ කොච්චර කාර් පාකිං තැන් තිබ්බත් මුදලාලිල ලේසියට තමන්ගේ වාහනේ තමන්ගේ කඩේ ඉස්‌සරහ තමයි පාක්‌ කරන්නේ. පිටකොටුවෙ තියෙන පාරවල් හරිම පටුයිනෙ. වාහනයක්‌ නැවැත්තුවම මුළු පාරම වැහෙනව. ඒක නිසා බ්ලොක්‌ එක වැඩියි. අපි කිව්වට අහන්නෙ නැහැ ඇත්තම කීවොත් පොලිසිය පණ මදි. තද නීති දැම්මනං වාහන බ්ලොක්‌ එකයි. කාණු බ්ලොක්‌ එකයි. දෙකම ලේසියෙන්ම නවත්ත ගන්න පුලුවනි.”
මහ පාරට කාරා කෙළගැසීම ප්‍රසිද්ධියේ සෙම් සොටු සූරා ඒවා හැම තැනම දැමීම, බුලත් කා කෙළගැසීම, සිගරට්‌ කොට එතැනම දැමීම අද පිටකොටුවේ බොහෝ සුලබව දකින්නට ඇති අසික්‌කිත දසුන්ය. මොහිදීන් ඒ ගැන මට විස්‌තරයක්‌ කළේ මෙසේය.
“බොස්‌, අපේම අය තමයි වැඩියෙන්ම ඒවා කරන්නෙ. වාඩිවෙලා ඉන්න තැනම කෙළ ගහනවා. සමහරු කොල කෑල්ලකින් ගොට්‌ටක්‌ ගහල ඒකට කෙළ ගහල පස්‌සෙ ගොට්‌ට ගුලි කරල පාරට දානවා. ඉතින් පාරේ යන අයට ඕක පෑගිල හැම තැනම ගෑවෙනව. ඒ වගේම සමහරු දන්නෙ නැහැ හරියට වැසිකිළියක්‌ පාවිච්චි කරන්න. ගියාම එන්නෙ මුලු ලැට්‌ එකම වනසල මං හිතන්නෙ අපේ රටේ විතරයි වැසිකිළිවල බෝඩ් ඇඳල මතක්‌ කරන්නේ පාවිච්චි කළ පසු වතුර ගසන්න කියල. සමහරු ලැට්‌ වළ විතරක්‌ නෙමෙයි පඩි පෙළවල් අයිනෙයි තරප්පු යටයි කෙළ ගහල මල මුත්‍ර කරල තමන්ට නෙමෙයි වගේ මාරු වෙනවා. මේව බොරු නෙමෙයි. නිතර පිටකොටු එන ඕනි කෙනකුගෙන් අහන්න බොස්‌…”
රාත්‍රි කාලයට පිටකොටුව මදුරුවන්ගේ සහ මීයන්ගේ රාජධානියක්‌ය. කෙයිසර් වීදියේදී මට හමුවූ පරමේශ් නම් දමිළ තරුණයා කියන පරිදි බජාර් එකේ මීයෙක්‌ පොඩි පූසෙක්‌ විතර විශාලය. මදුරුවෙක්‌ කැරපොත්තෙක්‌ විතර ලොකුය. “බොසා මෙහෙම සත්තු බෝ වෙන්නෙ අපේම අයගෙ වැරදි නිසා. ඉඳුල් එක්‌ක බත් පැකට්‌ හැම තැනම දාන නිසා. මීයොන්ට පොංගල්. වැහි වතුර කාණු හිස්‌ භාජන නිසා මදුරුවො හැමතැනම. ඉතින් ආණ්‌ඩුව කෑගහනව ඩෙංගු, ඩෙංගු කියල.”
අපිරිසිදුකම, රථවාහන තදබදය, ගණිකා වෘත්තිය සහ සමලිංගික සේවනය, මත් ජාවාරම සහ භාවිතය, වෙළෙඳුන්ගේ කූට ප්‍රයෝග, තැරැව්කරුවන්ගේ සහ ජල්බරි කාරයන්ගේ මගඩි සහ ජල්තර, මී මදුරු උවදුර, භීෂණය, මැරකම සහ හොරකම, කප්පං ගැනීම සහ බලහත්කාරය, ජාතිවාදය සහ ආගම්වාදය වැනි මෙකී නොකී කරුණු කාරණා නිසා එදා මනරම් මල්වත්තක්‌ සහ සුන්දර තණකොළ පිට්‌ටනියක්‌ව තිබූ පිටකොටුව ඇත්තටම අද මිහිපිට අපායකි.
මෙයට හේතුව එහි නිතර යන එන සහ රැඳී ව්‍යාපාර කරන ව්‍යාපාරිකයන්ගේ නොමනා හැසිරීම් රටාව සහ නොසැලකිල්ලත් පිටින් එන නරුමයන්ගේ ක්‍රියා පටිපාටියත් බව රහසක්‌ නොවේ. පිටකොටුව ආරක්‍ෂා කිරීම සහ හොඳින් නඩත්තු කිරීමේ වගකීම ඉස්‌සර නම් තිබුණේ මා දන්නා හැටියට කොළඹ මහ නගර සභාවටයි. නව සංකල්ප වන මෙගා පොලිස්‌ ව්‍යාපෘතියට අනුව මහ නගර සභාව පිටකොටුවෙන් අත පිසදා ගත්තාදැයි සමහරු සැක කරති. කෙසේ වෙතත් විවිධ ජන කොටස්‌ නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත් නාගරික මන්ත්‍රීවරුන් බුරුත්තක්‌ම තේරී පත්වුණ කොළඹ මහ නගර සභාව සහ දක්‍ෂ අවංක ක්‍රියාශීලී නිලධාරීන් පත්ව එන පිටකොටුව පොලිසිය තම වගකීම මනා ලෙස ඉටු කර යළිත් මල්වත්තක්‌ නොව අඩුම ගානේ සහනයෙන් සමාදානයෙන් බඩු මුට්‌ටුවක්‌ මිලදී ගැනීමට හැකි වාතාවරණයක්‌ සහිත ප්‍රදේශයක්‌ පවට පත් කරනු ඇතැයි අප ඇතුළු බහුතරයකගේ ප්‍රාර්ථනාවයි.

No comments:

Post a Comment