එරාගේ අදහස් උදහස් සමඟින් සියළුම අභියෝග මැඩලීමට හා නව ලෝකයක් දැකීමට එක්වන්න........

Monday, June 12, 2017

සැබි ඇසැබි බෙදුම්වාදය...!!!

අදහස්‌ ප්‍රකාශනයෙහි ලා භාෂාව මගින් ඉටුකරනුයේ සුවිශේෂ මෙහෙවරකි. මානව නිර්ගමනයේ මූලික අවධියේ පටන්ම ස්‌වකීය අදහස්‌ හා සිතුම් පැතුම් අනෙකුන් වෙත ප්‍රකාශ කිරීමට විවිධාකාරයේ ඉරියව් හා ශබ්ද භාවිත කළ මානවයා අවසානයේදී භාෂාව නම් ප්‍රකාශන මාධ්‍යය නිර්මාණය කරගෙන තිබේ. ලෝකයේ භාෂාවන් 6000 කට අධික ප්‍රමාණයක්‌ පවතී. භාෂාව නිර්මාණය වීමේ මූලික අධ්‍යාශය වන්නේ ස්‌වකීය අවශ්‍යතා අනෙකා වෙත සම්ප්‍රේෂණය කරවීම වන අතර එහිදී ලිංගිකත්වය නමැති සාධකය සම්බන්ධයෙන් අනෙකා වෙත ප්‍රකාශනය කිරීමට ද විවිධාකාරයේ ක්‍රමවේද භාවිත කරනු ලැබ තිබේ. ලෝකයේ සංස්‌කෘතිය විසින් හික්‌මවනු ලැබූ සියලුම රටවල පවතින්නා වූ භාෂා ව්‍යවහාරයන් තුළ මේ ලිංගිකත්වය සම්බන්ධයෙන් නිsර්මාණය වී තිබෙන වචනවලට යම් යම් සීමා බාධක පැනවී තිබේ. භාෂාව විවිධාංගීකරණය වීමෙන් නිෂ්පන්න වූ සිනමාව, චිත්‍රණය, සාහිත්‍ය, ගීතය වැනි නෙක්‌ කලාවන් විෂයෙහි ද මේ තත්ත්වය බලපා ඇත. ලාංකීය ජන සමාජය තුළ "කුණුහරුප" ලෙසින් ද නැතහොත් "කුණුහබ්බ" ලෙසින් ග්‍රාම්‍ය ව්‍යවහාරයේ දී ද පොදුවේ යෙදෙන්නේ මේ ප්‍රකාශනයන් හා සම්බන්ධ අරුත් ගැබ් වූ වදන්ය. වර්තමානය වන විට "කුණුහරුප" යන යෙදුම පවා සමාජයේ පිළිකුළට බඳුන් වන සෙයක්‌ පෙනෙන්නට ඇත. මේ අසභ්‍ය වදන් නිර්මාණය වීමේ දී කරුණු කාරණා කිහිපයක්‌ පිළිබඳව විශේෂයෙන් සලකා බැලීමක්‌ සිදුවී ඇත. ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික අවයවයන් සම්බන්ධ ප්‍රකාශන ඒ අතර ප්‍රමුඛ වේ. ඒ නිසා යට කී අර්ථ සහිත වදන් හැඳින්වීම උදෙසා "අසභ්‍ය වචන" යෑයි කියනු ලැබෙයි. මේ අසභ්‍ය වදන් භාවිතය සම්බන්ධයෙන් ශාස්‌ත්‍රීය විමසුමක්‌ වෙත යැම අපගේ අපේක්‍ෂණයයි.

"අසභ්‍ය" යන වදනෙහි අරුත නම් "සභ්‍ය නොවන" යන්නයි. එනම් "සභාවට" නොහොත් "සමාජයට අනුචිත" යන අරුතයි. සමාජය නමැති ප්‍රපංචය තුළ පොදුවේ කතිකා කළ නොහැකි වන හෙයින් එවන් අර්ථ සහිත වදන් සමාජය විසින් වාරණය කරනු ලැබේ

අසභ්‍යවාදය සම්බන්ධව බටහිරට යැමට පළමුව ඉන්දීය සමාජය හා මෙරට තුළ විමැසුමකට යාම වඩා උචිතය. ලාංකීය සංස්‌කෘතිය තුළ ලිංගිකත්වය පිළිබඳව විවෘතව කතිකා කිරීම පිළිබඳ පාරම්පරික තහංචි සමුදායක්‌ තිබේ. අසභ්‍ය වදන් මෙන්ම අසභ්‍ය ක්‍රියාකාරකම් ද ඇත. මේවා කියන්නන් හා කරන්නන්ට සමාජය වෙතින් එල්ල වනුයේ සුළුපටු ප්‍රහාරයක්‌ නොවේ. ඒ තබා විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අත්වැල් බැඳ යැම පවා මෙරට පාරම්පරික සංස්‌කෘතිය විසින් වාරණය කොට තිබෙයි. මෙය කිසිසේත් වැරදි යෑයි අපි නොකියමු. ලිංගිකත්වය වැනි පොදු මාතෘකා විෂයෙහි විද්‍යාත්මක හා ශාස්‌ත්‍රීය කතා බහක්‌ තිබිය යුතු වුවත් ඒ පිළිබඳ ව ග්‍රාම්‍ය මට්‌ටමේ සංවාද දුරැලිය යුතුය. නමුත් දැන් දැන් නාගරික සමාජ පද්ධතීන් තුළ මේ සම්බාධක ලිහිල් වෙමින් පවතින ආකාරයක්‌ දකින්නට ලැබේ. කෙසේ නමුත් මේ "අසභ්‍ය සංකල්ප" ලාංකීය සමාජය තුළ වඩා තදින් රෝපණය වී තිබෙන්නේ බටහිර අධිරාජ්‍යවාදී යුගයන්හි බව ඇසීමෙන් බොහෝ දෙනා පුදුමයට පත් නොවන්නේ වී නම් එය අනිවාර්යෙන්ම තවත් පුදුමයක්‌ වනු ඇත. නමුත් එය සැබෑවි.

පුරාණ සමාජය තුළ නිරුවත නමැති සංකල්පය සම්බන්ධයෙන් පැවැති සමාජගත ආකල්පය වර්තමානයේ තරම් උග්‍රව පැවතියේ නැත. ලිංගික අවයවයන් සම්බන්ධයෙන් හැරුණු විට වෙනත් ශාරීරික අංගයන් සම්බන්ධයෙන් සමාජයේ පැවැති ආකල්පය අදට වඩා වෙනස්‌ වූ ස්‌වභාවයක්‌ උසුලා තිබේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් සොයාගත් මාතෘ දෙවඟනගේ රුවෙහි යෝනිය තුළින් නික්‌මෙන පැළෑටියක්‌ දක්‌වා තිබීම මගින් ද ප්‍රකට වන්නේ නිරුවත හා ලිංගිකත්වය සශ්‍රීකත්වය පතා වන්දනා කිරීමට පැරණි සමාජය උත්සුක වී තිබෙන බවයි. එපමණක්‌ද නොව, පශ්චාත් වෛදික සමයේදී ශිව ලිංග වන්දනාව සහ යෝනි වන්දනය ද පැවැතී තිබේ. එමෙන්ම ඉන්දියාවේ වෛදික යුගයන් හි දී නිරුවත් බමුණෝද විසූහ. විශේෂයෙන්ම නිගණ්‌ඨයෝ නිරුවත ව්‍රතයක්‌ සේ සැලකූහ. රජුන් හා වෙනත් ප්‍රභූන් පවා නිරුවත් පූජකයන්ට වන්දනාමාන පවත්වා තිබේ. එකල ඔවුන් නිරුවත් යයි කියා කිසිදු තැනකට යැමට බාධක තිබූ බවක්‌ ද නොපෙනේ. තවද නිරුවත් ස්‌ත්‍රී රූපවලට වන්දනාමාන පවා පවත්වා තිබේ. ඉන්දියානු කලා නිර්මාණ අතර, සාංචි තොරණ, භාරුත් කැටයම්, එල්ලෝරා ලෙන්, අජන්තා ලෙන් වැනි ස්‌ථානවල ඇති පූර්ණ හා අර්ධ නග්න කාන්තා රූප සම්බන්ධයෙන් විමසීමේදී ද පෙනී යන්නේ එකල අද තරම් නිරුවත හා ලිංගිකත්වය සම්බන්ධයෙන් තියුණු වූත්, අද තරම් ප්‍රබල වූත් සංස්‌කෘතික විවේචන නොතිබූ බවය. මේ අතර වඩාත්ම වැදගත් නිදර්ශනය වන්නේ ක්‍රි. ව. 2 වන ශතවර්ෂයේදී පමණ ඉන්දියාවේ විසූ පඬිවරයෙකුවූ "වත්ස්‍යයාන" විසින් රචනා කරන ලද "කාම සූත්‍ර" නම් වෛද්‍ය ශාස්‌ත්‍ර කෘතිය යි. සමකාලීන රජුන් හා ප්‍රභූන්ගේ ලිංගික දිවිය සම්බන්ධයෙන් විද්‍යාත්මක ප්‍රවේශයක්‌ සේ සකස්‌ කර තිබෙන "කාමසූත්‍ර" කෘතිය අද වනවිට වැරදි පුද්ගලයන් අතට පත්වීම කරණකොටගෙන හුදු කාමෝද්දීපන කෘතියක්‌ බවට පත්ව තිබේ. නමුත් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඇති "කාහුජාරෝ" හි කාමසූත්‍ර දේවාලය වැනි ස්‌ථානයන්හි රමණ දිව්‍යත්වයෙන් යුක්‌තව ඉදිරිපත් කර තිබෙන ආකාරය අනුව ද පෙනී යන්නේ පෙරදිග සංස්‌කෘතිය තුළ ලිංගිකත්වය "කුණුහරුපයක්‌" නොවූ බවය.

එමෙන්ම පැරණි ශ්‍රී ලාංකීය සමාජය නිරීක්‍ෂණය කිරීමේදී ද පෙනී යන්නේ මෙරට ද ලිංගිකත්වය සම්බන්ධයෙන් අසභ්‍යවාදයක්‌ නොතිබූ බව ය. ක්‍රි. ව. 4 - 5 සියවස්‌වලට අයත් සේ ගැනෙන සීගිරියේ බිතුසිතුවම් වුව වර්තමානයේ අසභ්‍ය කුලකයෙහි ලා සැලකීමට බොහෝ දෙනා උත්සුක වෙතත් ඒවා නිර්මාණය වූ වකවානුවේදී ඒ හා සම්බන්ධව එවන් අසභ්‍ය යෑයි සම්මත ආකල්පයක්‌ නොතිබූ බව නිසැකය. විශේෂයෙන්ම සීගිරිය වූ කලී පසුකාලීනව බෞද්ධ විහාරයක්‌ බවටද පරිවර්තනය වූ ස්‌ථානයක්‌ නමුත් යට කී සිතුවම් ඒ ස්‌ථානයෙන් ඉවත් කිරීමක්‌ සිදුකර නොමැත. එසේම පිදුරංගල වැනි ස්‌ථානවල ද එවන් නග්න රූප තිබේ. සමකාලීන කුලවත් කාන්තාවන් පවා මේ ආකාරයේ ඇඳුම් පැළඳුම් ඇඳි සිටි බවට මේ නිර්මාණ කදිම සාක්‌ෂ්‍යයක්‌ වෙයි. ඇතැම් දාගැබ්වල ගර්භවල පවා ඇඳ තිබෙන සිතුවම් අතර ද අර්ධ නග්න රූප තිබෙනු දැකගත හැකිය. තවද පොළොන්නරු යුගය වනවිට ද මේ තත්ත්වය මෙසේම පැවතී තිබේ. යාපහුව යුගයේ දී දළදා මාළිගාවට පිවිසෙන පියගැටපෙළ දෙපස අතිශයින්ම දුහුල් වූ සළුපිළි හැඳි රූප තිබේ. මාතලේ නාලන්දා ගෙඩිගේ ඇති කැටයම් අතර පුද්ගලයන් තිදෙනකු එකවර රමණයේ යෙදෙන ආකාරයක්‌ පවා දක්‌වා ඇත. ලිංගිකත්වය සම්බන්ධයෙන් පැරණි සමාජය අනුගමනය කර තිබෙන්නේ අතිශයින්ම ලිහිල් ප්‍රතිපත්තියක්‌ බව මේ අනුව මනාව පැහැදිලි වේ. ගම්පොළ හා කෝට්‌ටේ යුගයන්හි රචනා කරන ලද සංදේශ කාව්‍යයන් හි පවා පියයුරු පිටතට පෙනෙන සේ වීදි සැරි කාන්තාවන් පිළිබඳව තොරතුරු මුණගැසේ. මහනුවර යුගය වනවිට බිතුසිතුවම් අතර උඩුකය නග්න කාන්තා රූප අනන්තවත් දැකගත හැකිය. සමකාලීන සමාජයේ කාන්තාවන් පවා ඒ අනුව ස්‌වකීය ඇඳුම් සකස්‌ කරගෙන සිටි බව ද මේ අනුව සනාථ වේ. පහත් කුල කාන්තාවන් විශේෂයෙන්ම නිරුවත්ව සිටි බව ද මහනුවර යුගයේ සමාජ යාන්ත්‍රණය පිළිබඳ අධ්‍යනය කිරීමේ දී පැහැදිලිව පෙනී යයි. නමුත් කිසිවිටෙක ඔවුන් මෙසේ සිටි පමණින් ඒ මත පදනම් ව සමාජයෙන් ඔවුන් ප්‍රතික්‌ෂේප වූ බවක්‌ පිළිබඳ තතු ඉතිහාසයෙන් හමුවන්නේ නැත.

මහනුවර යුගයේ සමාජය තුළ පැවැති මේ "අසභ්‍ය" තත්ත්වයන් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කෙරෙන ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ 1696 දී Robert Knox විසින් ලියන්නට යෙදුණු An Historical Relation of the Island of Ceylon නමැති කෘතියයි.

"ඔවුන් ඇණුම් බැණුම් සඳහා භාවිත කරන කර්ණ කඨොර වචන බොහෝය. සහෝදරයා තවත් සහෝදරයකුට බැණ අඬගැසීමේදී සිය මව ඉදිරිපිට ම සිටියත් "තෝ මෝ..." යයි කියයි. එවිට අනිකා "පල තෝ ගිහින් මෝ...." යනුවෙන් බැණ වදී. මව දුවට බැණ වැදීමේදි "තෝ අප්ප..." ආදියෙන් බැණ වදින්නීය. කුඩාවෝ තමන් ගේ නිදොස්‌කම සනාථ කර ගැනීමට කථා කරන කල්හි සැර වැර කරමින් "හරි උපන්නා" යයි කියන්නෝය. බැණ ගැනීමේදි "රිංපිය මගෙ නාහෙ කපා ගියා" යනාදියෙන් බැණ වදිති. ශාප කිරීමේදී හැවිළි කැවීමේදී "තෝ පංසියක්‌ ජාති නරකාදියෙ...." යනාදියෙන් සාප කරති. ගම්වැසියන්ගේ වත්තකින් කෙසෙල් කැණක්‌ බඳු යම් කිසිවක්‌ යමෙකු සොරකම් කර ගතහොත් "මේක කරපු එකා නීච...... කූට ජාතක...." යනාදියෙනුත්..." (එදා හෙළදිව: ඩේවිඩ් කරුණාරත්න - 2004( 301 පිට)

මේ අනුව පෙනී යන්නේ මහනුවර යුගයේ දී පවා භාෂාවේ "අසභ්‍ය" යෑයි පිළිගත් වදන් මාලාවක්‌ නොතිබූ බවය. මව ඉදිරිපිට සිටියදී ම සොහොයුරන් බැණගන්නා ආකාරය අනුව ද පෙනී යන්නේ එවන් වදන් සම්බන්ධයෙන් උග්‍ර සංස්‌කෘතිකමය වාරණයක්‌ එකල බලපැවැත්වී නොතිබුණු බවය. කෙසේ නමුත් මේ සමාජ තත්ත්වය වෙනස්‌ වන්නේ බටහිරුන්ගේ දෘෂ්ටිය හේතුවෙන්ය. නොක්‌ස්‌ මේ පුවත් පාඨකයා හමුවේ තබනුයේ පිළිකුල් සහගත අන්දමිනි. ඉංග්‍රීසීන්ට වඩා ග්‍රාම්‍ය වූ සිංහලයන් අතර එදා පැවති මේ භාෂාත්මක භාවිතය නොක්‌ස්‌ට ඉහිලුම් නොදුන්නක්‌ වන්නට ඇත. නමුත් නිර්ව්‍යාජ සිංහලයන් අතර මේ ස්‌වභාවය සාමාන්‍යකරණය වූ තත්ත්වයක්‌ වූ බව නිසැකය. එමෙන්ම අමුඩය ලෙසින් අප හඳුන්වන වස්‌ත්‍රය ගත් කල ඉංග්‍රීසි සංස්‌කෘතිය තුළ එය ද නිර්වචනය වන්නේ අසභ්‍ය දර්ශනයක්‌ ලෙසිනි. නමුත් එය පැහැදිලිවම දේශීය සංස්‌කෘතියේ වස්‌ත්‍ර භාවිතයක්‌ වෙයි. අපේ සමාජය තුළ මේ දෑ අසභ්‍ය වූයේ නැත. නමුත් බටහිරකරණයක්‌ සමඟ මේ සාම්ප්‍රදායිකත්වයන් "අසභ්‍ය" ලෙසින් ලේබල්ගත කිරීම සිදුව තිබේ. වර්තමානය වන විට බටහිර සංස්‌කෘතිය දැඩි සේ දූෂ්‍යව පැවතියත් එකල එය බොහෝ සෙයින් ශික්‍ෂිතවත් වූවක්‌ විය. එකල බටහිර සමාජයේ පැවති ඇඳුම් ආයිත්තම් පවා සැකසී තිබුණේ එසේය. ඇඳුම් පැළඳුම් ආදිය නිර්මාණය වන්නේ ඒවා අඳින පළඳින ජනතාව දිවි ගෙවන භූමියේ දේශගුණික සාධකයන් මතය. ලංකාවේ පවතින උෂ්ණාධික දේශගුණය අනුව භාවිත වූ අමුඩය වැනි ඇඳුම් නිර්මාණයව තිබෙන්නේ එවන් වාතාවරණයක්‌ තුළය. ශීත දේශගුණය සමනය කරගනු වස්‌ කය හොඳින් වැසී යන පරිද්දෙන් ඇඳුම් නිර්මාණය කරගත් බටහිරුන් අමුඩය වැනි ඇඳුම් දැක තිබෙන්නේ නිරුවත ප්‍රකාශ කෙරෙන ඇඳුම් වශයෙනි. මේ නිසා බටහිර සංස්‌කෘතිය අනුව ස්‌වකීය දිවිපැවැත්ම හුරු කර ගැනීමට පෙළඹුණු සිංහලයෝ ද මේ දේශීයත්වය අසභ්‍ය සේම නිර්වචනය කළහ.

".....අවුරුදු පහකට උඩදී කුඩා ගැමි දරුවෝ සෙළුවෙන් ඇවිද්දෝය. ගැමි ගැහැනු ඒ කුඩා දරුවන් සුරතල් කරමින් ඔවුන්ගේ ඇඟ හැම තැන සිම්බෝය. ඔවුන්ගේ සිඹීමට දරුවන්ගේ රහසඟ ද හසුවිය. එය දකුණු පළාතේ ගැමි ගැහැනු අමුත්තන් ඉදිරියේ "සුන්නිය" නමින් හැඳින්වූහ. දරුවන්ගේ සෙළු කය අසභ්‍ය දර්ශනයක්‌ කොට සලකන්නට අප පුරුදු වූයේ වික්‌ටෝරියා රැජිනගේ කාලයෙහි වූ යුරෝපීය සභ්‍යත්වයෙහි බලපෑම නිසාය." (සිංහල සකස්‌කඩ - මාර්ටින් වික්‍රමසිංහ - 1962(39) සහ 40 පිටු)

අසභ්‍ය යෑයි සැලකෙන සියලු දේ ලිංගිකත්වය හා සමගාමී වන කරුණු කාරණාය. අසභ්‍ය වදනින් මුක්‌ත එකම බස මාගධි නොහොත් පාලි බස යෑයි කියනු ලැබේ. එයට හේතුව එය බුද්ධ භාෂිත භාෂාවක්‌ වීම යෑයි ඇතැම්හු කියති. කෙසේ වෙතත් සෙසු භාෂා සියල්ලකම පාහේ "කුණුහරුප" තිබේ. ඒවා භාවිත කරන්නෝ තත් සමාජයේ පිළිකුළට පවා පාත්‍ර වෙති. අපේ පැරණි සාහිත්‍යයේ ඇති ඇතැම් පැරණි වදන් 'කුණුහරුප' යෑයි සලකා පාසල්වලින් පවා මඟහැර යන අවස්‌ථා නැත්තේ නොවේ. මෙයට හොඳම උදාහරණයක්‌ නම් 'කරණීයමෙත්ත සූත්‍ර දේශනාවේ' එන ඇතැම් වදන්ය.

"සන්තින්ද්‍රියෝච නිපකෝච-අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති"

"යේච දූරේ වසන්ති අවිදූරේ - භූතා වා සම්භවේ සී වා"

යනාදී පද කියවන බොහෝ දෙනා ඒවායේ නිසි අරුත් නොදැන කියවන ගමන්ම කට කොණින් සිනා නගනු අප නිරන්තරයෙන්ම දැක තිබේ. එමෙන්ම ඇතැම් සාහිත්‍ය කෘතිවල ද මෙවන් දෑ සුලබය. ගුත්තිල කාව්‍යයේ 494 වැනි කවිය එහි මුල් මුද්‍රණවල ආරම්භ වන්නේ.

"තිඹිරි පතක්‌ දුන් අඟනක්‌ සඟන දැක"

(සංඝයා වහන්සේ දැක තිඹිරි ගෙඩියක්‌ දුන්නා වූ ස්‌ත්‍රිය....)

ලෙසිනි. නමුත් දැන් එළිදකින අලුත් මුද්‍රණවල මෙය අසභ්‍ය යෑයි සලකා 'තිඹිරි පලක්‌ දුන් අනෙක්‌ පහන දැක' යනාදී වශයෙන් වෙනස්‌ කර තිබේ. මහනුවර යුගයේ රචිත 'සඳකිඳුරු දා කවෙ' හි,

"වේසක්‌ නැතිව සැප විsඳ විඳ ඉන්ට"

(වෙහෙසකින් තොරව සතුටින් කල් යෑවීමට....)

යන පදය කියවන සාමාන්‍ය පෙළ සිසුවෝ ද මහත් හඬින් හිනැහෙති. ගැහැනු ළමෝ මුහුණ රතුකරගෙන ඇඹරෙති.

"තන ගස මුස කළෙමි නිදොසිම් ලු හා නුගියට"

ලෙසින් කාව්‍යශේඛරයේ 12 වැනි සර්ගයේ 559 වැනි කව ද ඇතැම් දෙනා අසභ්‍ය සේ විවරණය කරති.

සැළලිහිණි සංදේශයේ ද එසේය.

"වෙසඟන තුඟු කන යුග රොන් කොකු මඟර" 

(23 කව)

"සලා දූලා පියොවරැ තඹර රොන් රත" (38 කව)

මේ ආදී වශයෙන් පැරණි සාහිත්‍යයේ එන්නා වූත්, වර්තමානයේ අසභ්‍ය සේ ගැනෙන්නා වූත් උදාහරණ අනන්තවත් සැපයිය හැකිය. විශේෂයෙන්ම මහනුවර යුගයට අයත් 'රති වැනුම්' සහිත ශෘංගාරාත්මක කාව්‍ය සම්බන්ධයෙන් මේ තත්ත්වය උපරිමයෙන් මෙන් පවතී. නමුත් නිසි අර්ථ නොදැනීමෙන් හා රස විඳීමේ පවතින දුබලතාවයන් නිසා වර්තමානයේ බොහෝ දෙනා මේවා දෙස බලා කට කොණින් සිනහ නඟති. නැතොත් අසැබි සේ සලකා බැහැරලති.

ගාල්ලට නුදුරු 'පයාගල' නම් නගරය. මෙයින් වසර තුන හතරකට පමණ පෙර ව්‍යවහාර කළ එහි මුල් නම වූයේ 'පයියාගල' යන්නයි. නමුත් දැන් එහි නම අසභ්‍ය සේ සලකා වෙනස්‌ කර තිබේ.

භාෂාවේ අසභ්‍ය සම්ප්‍රදාය එසේය. ඇතැම් තැන්හි පැරණි සාහිත්‍යයේ එන වදන් අසභ්‍ය සේ ගෙන තිබෙන්නේ ඒවායේ නිවැරැදි අර්ථය හා සම්බන්ධ වූ අල්පමාත්‍රයකුදු දැනුමින් මුක්‌තව ය. විශේෂයෙන් වර්තමානයේ සිදු වී තිබෙන 'රස සායනය' නොහොත් 'රස වින්දනයේ' පවතින නායයැම හේතුවෙන් මෙවන් දෑ සිදුව තිබේ. අතීත ජන සමාජයේ විසුවෝ සියල් දෑ කලාවෙන් විඳි බව පුරාණ කලා නිර්මාණ ඇගයීමෙන් මනාව අවබෝධ කරගැනීමට පිළිවන. නමුත් වර්තමානයේදී මේ තත්ත්වය සපුරාම වෙනස්‌ව ඇත. එදා කලාත්මකව රස විඳි පූජනීය වස්‌තුවක්‌ සේ ඇගයුම් ලැබූ ස්‌ත්‍රී ශරීරය, වත්මන ව්‍යාපාරිකරණය වීමත් සමඟ කාමොද්දීපනය පිණිස පවත්නා වස්‌තුවක්‌ සේ ආකල්පයක්‌ සමාජගත ව ඇත. එදා කලාත්මකව රස විඳි පූජනීය වස්‌තුවක්‌ සේ ඇගයුම් ලැබූ ස්‌ත්‍රී ශරීරය, වත්මන ව්‍යාපාරීකරණය වීමත් සමඟ කාමොද්දීපනය පිණිස පවත්නා වස්‌තුවක්‌ සේ ආකල්පයක්‌ සමාජගතව ඇත. පැරණි සමාජයේ දෙවියන් සමඟ යාවීමක්‌ සේ සැලකූ ස්‌ත්‍රී පුරුෂ සංවාසය වෙතින් එහි පූජනීයත්වය වර්තමානයේ ගිලිහී ගොස්‌ ඇත්තේය. මේ සමාජ ආකල්පමය වෙනස සිදුව තිබෙන්නේ ලෝකය ව්‍යාපාරීකරණය වීමේ අනිටු ඵලයක්‌ වශයෙනි. මෙහි වගකීම හුqදු බටහිර ලෝකයටම පවරා වැරැද්දෙන් නිදහස්‌ වීමට පෙරදිග අපට නුපුළුවන. බටහිර සංස්‌කෘතිය මුළුමනින්ම දූෂිත යෑයි කීමට ද අපට නොහැක. එමෙන්ම ඔවුන් තුළ මෙයින් දශක හතරකට හෝ පහකට පමණ පෙර සංස්‌කෘතිකවත් සමාජ රටාවක්‌ පැවැති බව පිළිගැනීමට ද අපට සිදුවේ.

අසභ්‍ය යෑයි සමාජ සම්මත ප්‍රපංචය වුව රසවිඳීම ඔස්‌සේ 'සභ්‍ය' බවට පත්කළ හැකිය. මනසින් උසස්‌ ප්‍රජාවක්‌ භාවිත කරන බසක 'අසැබි' යෑයි පොදු සම්මතයක්‌ නැති වන්නේ මේ නිසා ය. රසාස්‌වාදයේ හා විචාරයේ උපරිමයට පත් වූ කල එතැන 'අසභ්‍ය' දෙයක්‌ තිබිය නොහැක. 'කලාව' නමැති සන්දර්භය තුළ අසභ්‍ය දැයක්‌ නැත. සාහිත්‍ය හෝ කලා නිර්මාණකරණයේදී නිර්මාණකරුවා තුළ මෝදු වන විචාරාතම්ක පරිකල්පනය කරණ කොටගෙන ඔහු තුළ රාගය හෝ කාමය බිහි නොවේ. නිර්මාණකරුවා සේම වින්දකයා සහ විචාරකයා ද එවන් ප්‍රබුද්ධ මනෝභාවයෙන් සපිරුණේ වී නම් මානව ආකල්ප වඩා හොඳින් කුළුගැන්වෙන නිර්මාණයක්‌ එතැන සිදුවනු ඇත. 'අසභ්‍ය' සේ පොදුවේ ගැනෙන්නේ 'රාගය හා ලිංගිකත්වය' නම් ඒ දෙකම උසස්‌ මනසින් රස විඳින තැනැත්තා කෙරෙහි 'අසභ්‍ය' යෑයි සැලකිය හැකි දෘෂ්ටියක්‌ කිසිදා ඇති වන්නේ ද නැත.

No comments:

Post a Comment